Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කොත්මලේ රෝහලට කෝටි 42ක නවීන හදිසි ප්‍රතිකාර ඒකකයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රදේශ යළි ගොඩනැගීම වෙනුවෙන් ‘ඩයලොග් ආසිආටා’ (Dialog Axiata) සමාගම ලබාදුන් රුපියල් මිලියන 420ක (රුපියල් කෝටි 42ක) පූර්ණ මූල්‍ය දායකත්වයෙන් නවීකරණය කරන ලද කොත්මලේ මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය (ETU) ඊයේ (05) ජනතා අයිතියට පත්කෙරිණි.

හදිසි ආපදා සහ අනතුරු අවස්ථාවලදී කොත්මලේ සහ ඒ අවට ප්‍රදේශවාසීන්ට කඩිනම්, උසස් සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාගැනීමට හැකිවන පරිදි, අතිනවීන වෛද්‍ය තාක්ෂණික උපාංගයන්ගෙන් මෙම හදිසි ප්‍රතිකාර ඒකකය සම්පූර්ණයෙන්ම සන්නද්ධ කර ඇත.

ග්‍රාමීය හා නාගරික රෝහල් පද්ධතිය ශක්තිමත් කරමින් දිවයිනේ සියලුම පුරවැසියන්ට උසස් රාජ්‍ය සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ රජයේ දැක්මට සහයෝගයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. රජය සහ ඩයලොග් සමාගම එක්ව මෑතකදී හලාවත දිස්ත්‍රික් රෝහලේ නවීන ශල්‍යාගාරයක් සහ එන්ඩොස්කොපි ඒකකයක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ මීළඟ සත්කාරය මෙය වේ.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට කොත්මලේ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය හිමේෂ වීරතුංග, ඩයලොග් ආසිආටා සමූහයේ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම සහ සමූහ ප්‍රධාන නිලධාරී අසංග ප්‍රියදර්ශන යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නියෝජිතයෝ, සෞඛ්‍ය නිලධාරීහු සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ රැසක් එක්ව සිටියහ.

ඔබේ අදහස