ලංගම බස් 7,000න් දුවන්න පුළුවන් 5,000යි: 2,000ක්ම අබලන්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) සතු ලියාපදිංචි සමස්ත බස් රථ 7,130 අතුරින්, මේ වන විට ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින්නේ බස් රථ 5,000කට ආසන්න ප්‍රමාණයක් පමණක් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ, ලංගම සතුව සාමාන්‍ය බස් රථ 6,987ක් සහ සුඛෝපභෝගී බස් රථ 143ක් පැවතියද, ඉන් බස් රථ 2,000කට අධික සංඛ්‍යාවක් විවිධ අලුත්වැඩියා සහ කාර්මික දෝෂ හේතුවෙන් ධාවනයෙන් ඉවත්ව අක්‍රිය මට්ටමේ පවතින බවයි.
පළාත් මට්ටමින් පෞද්ගලික බස් රථ බෙදී ඇති අයුරු
දිවයින පුරා ධාවනය වන පෞද්ගලික බස් රථ පිළිබඳ සංඛ්‍යාලේඛනද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සභාව හමුවේ තැබීය. ඒ අනුව වැඩිම පෞද්ගලික බස් රථ සංඛ්‍යාවක් ධාවනය වන්නේ බස්නාහිර පළාතේය.
පළාත් අනුව පෞද්ගලික බස් රථ සංඛ්‍යාව මෙසේය:
බස්නාහිර පළාත: 5,524
මධ්‍යම පළාත: 2,433
සබරගමුව පළාත: 1,866
දකුණු පළාත: 1,326
වයඹ පළාත: 1,324
ඌව පළාත: 1,043
උතුරු පළාත: 976
නැගෙනහිර පළාත: 520
උතුරු මැද පළාත: 509
ජාතික ගමනාගමන කොමිසමේ බලපත්‍ර
මීට අමතරව, පසුගිය ඔක්තෝබර් 01 වැනිදා වන විට ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) මඟින් අන්තර් පළාත් සේවා සඳහා පෞද්ගලික බස් රථ 2,966කට මගී සේවා බලපත්‍ර නිකුත් කර ඇති බවද වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.
ඊට සාමාන්‍ය සේවා බස් රථ 1,826ක්, සුඛෝපභෝගී බස් රථ 651ක්, අර්ධ සුඛෝපභෝගී බස් රථ 257ක් සහ අධි සුඛෝපභෝගී බස් රථ 232ක් ඇතුළත් වේ.




