LK reports news sinhala

වර්ධරාජා පෙරුමාල්ගේ සහාය ගෝඨාට

උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ජාතික සංවිධායක වර්ධරාජා පෙරුමාල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බව ප්‍රකාශ කර ඇත. වර්ධරාජා පෙරුමාල් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ(16) පැවැත්විණි.

එම හමුවේදී වර්ධරාජා පෙරුමාල් කියා සිටියේ පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රහණය කරවීමට තම පක්‍ෂයේ සියලු දෙනා එක්වී කටයුතු කරන බවයි.

මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවට ඇති එකම විකල්පය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට ඡන්දය ලබාදීම බව උතුරු පළාත් සභාවේ පළමු ප්‍රධාන අමාත්‍යවරයා වූ වර්ධරාජා පෙරුමාල් පසුගියදා ප්‍රකාශ කර සිටියේය.

දෙමළ ජාතික සන්ධානය විසින් ඉල්ලා සිටින ඉල්ලීම් කිසිදු රජයකට ලබාදිය නොහැකි බව ඔහු කියා සිටි අතර දෙමළ ජනතාව වෙනුවෙන් ඉටු නොවන බලාපොරොත්තු පසුපස යාමෙන් දෙමළ ජනතාවට හෝ දෙමළ ජාතික සන්ධානයට කිසිවක් නොලැබෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබිණි.

එබැවින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට සහාය ලබාදීම හොදම විකල්පය බව යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වර්ධරාජා පෙරුමාල් මීට පෙරද ප්‍රකාශ කර තිබිණි.

ඊළාම් ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණ හෙවත් EPRLF සන්නද්ධ සංවිධානයෙහි ආරම්භක නායකයකු වූ වර්ධරාජා පෙරුමාල්, ඉන්දු – ලංකා ගිවිසුම අනුව පිහිටවූ උතුරු නැගෙනගිර පළාත් සභාවෙහි මහ ඇමති ධුරයට 1988 දෙසැම්බර් 10 වැනිදා පත්විය. ඔහු ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යාමත් සමග ඉන්දියාවට ගියේය. පසුව ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලන කටයුතුවල නිරතවූ වර්ධරාජා පෙරුමාල් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *