තායිලන්තයේ බැංකොක් නුවරදී ආරම්භ වූ පස්වැනි ආසියා-පැසිෆික් අමාත්ය මණ්ඩල සමුළුවේ (MC-5) උප සභාපතිවරයෙකු ලෙස ශ්රී ලංකාවේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වූ ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP) සහ තායිලන්ත රාජකීය රජය එක්ව සංවිධානය කරන මෙම සමුළුව ඊයේ (28) එක්සත් ජාතීන්ගේ සම්මන්ත්රණ මධ්යස්ථානයේදී (UNCC) නිල වශයෙන් ආරම්භ විය.
ශ්රී ලංකාව නියෝජනය කරමින් සමුළුව ඇමතූ අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා, ලෝක මට්ටමින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සපුරා ගැනීමේ ප්රගතිය මෑතකාලීනව මන්දගාමී වී තිබීම පිළිබඳව සිය කනස්සල්ල පළ කළේය.
රෝග නිරීක්ෂණ කටයුතු කාර්යක්ෂම කිරීම, දේශගුණික විපර්යාස නිසා මතුවන සෞඛ්ය අවදානම් තක්සේරු කිරීම, ආපදා පෙරසූදානම ශක්තිමත් කිරීම මෙන්ම ගුණාත්මක සෞඛ්ය සේවා සඳහා ජනතාවට ඇති ප්රවේශය පුළුල් කිරීම උදෙසා කෘතිම බුද්ධිය (AI) ඇතුළු නවීන ඩිජිටල් තාක්ෂණයන් ජාතික මහජන සෞඛ්ය පද්ධතියට බද්ධ කිරීමේ ඇති කාලීන අවශ්යතාව අමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම මූල්යමය හා තාක්ෂණික ධාරිතා සීමාවන්ට මුහුණ දී සිටින සංවර්ධනය වෙමින් පවතින රටවලටද මෙවැනි නැගී එන නවීන තාක්ෂණයන්හි ප්රතිලාභ සාධාරණව හිමිවිය යුතු බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම කලාපීය වශයෙන් ආයතනික ධාරිතාව වර්ධනය කරගැනීමත්, තාක්ෂණික මෙවලම්, දැනුම සහ සම්පත් සාමාජික රටවල් අතර බෙදාගැනීම පහසු කරවීම සඳහාත් වඩාත් ශක්තිමත් කලාපීය සහයෝගීතාවක් ගොඩනැගිය යුතු බවටද අමාත්යවරයා මෙහිදී යෝජනා කළේය.
මෙම සමුළුව සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් වෛද්ය අනිල් ජාසිංහ, රාජ්ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ඉංජිනේරු (ආචාර්ය) සනත් පනාවැන්න යන මහත්වරුන් ඇතුළු තායිලන්තයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරීහු පිරිසක්ද සහභාගී වී සිටිති.


