කටුනායකින් ලන්ඩන් බලා පියාසර කිරීමට ගිය ශ්‍රීලන්කන් ගුවන් යානයක එන්ජිමක කුරුල්ලෙකු ගැටෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ලන්ඩන් බලා පියාසර කිරීමට සූදානම් වූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක එන්ජිමක කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ගුවන්ගත කිරීම හදිසියේ අත්හිටුවීමට සිදුවූ අතර, පසුව වෙනත් ආදේශක ගුවන් යානයක් මඟින් එම ගුවන් ගමන සාර්ථකව පිටත්ව ගොස් තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවය නිවේදනය කළ අන්දමට, අද දින පස්වරු 12:55ට කටුනායකින් ලන්ඩන් හීත්‍රෝ (London Heathrow) බලා පියාසර කිරීමට නියමිතව තිබූ UL503 දරන ගුවන් යානය ධාවන පථය ඔස්සේ ගුවන්ගත කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එහි එක් එන්ජිමක මෙලෙස කුරුල්ලෙකු ගැටී ඇතැයි සැකකෙරේ.

එම අවස්ථාවේදී දැඩි සුපරීක්ෂාකාරීත්වයෙන් කටයුතු කළ ගුවන් නියමුවන්, පෙරසූදානම් ආරක්ෂක පියවරක් ලෙස යානය ගුවන්ගත කිරීම වහාම අත්හිටුවා එය ආපසු ගුවන් යානා අංගනය (Parking stand) වෙත ආරක්ෂිතව රැගෙන ඒමට පියවර ගත්හ.

යානයේ සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිසිදු උපද්‍රවයකින් තොරව ආරක්ෂිතව යානයෙන් පිටතට ගැනීමට හැකිවූ බව ගුවන් සේවය තහවුරු කරයි.

ආදේශක යානයකින් ගමන යළි ඇරඹෙයි
මෙම අනපේක්ෂිත සිදුවීමෙන් පසු, අදාළ ගුවන් ගමන ක්‍රියාත්මක කිරීම සඳහා වෙනත් ආදේශක ගුවන් යානයක් සහ නව කාර්ය මණ්ඩලයක් කඩිනමින් සූදානම් කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය පියවර ගත්තේය. ඒ අනුව පස්වරු 4:30ට පමණ පිටත්වීමට සැලසුම් කර තිබූ එම ආදේශක ගුවන් යානය මේ වන විට ලන්ඩන් බලා පිටත්ව ගොස් ඇත.

සිදුවූ අනපේක්ෂිත ප්‍රමාදය හේතුවෙන් ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාව පිළිබඳව සිය කනගාටුව පළ කළ ශ්‍රීලන්කන් ගුවන් සේවය, මගීන්ගේ උපරිම ආරක්ෂාව තහවුරු කිරීම තම ආයතනයේ ප්‍රමුඛතම වගකීම බව වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *