යාපනය පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තරයට

ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද(17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්විය.

ශ‍්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර වශයෙන් රුපියල් මිලියන 300ක වියදමින් මෙම ගුවන්තොටුපොළ ඉදිකෙරිණි.

යාපනය සහ චෙන්නායි අතර ප්‍රථම ගුවන් ගමන අරඹමින් එයාර් ඉන්දියා එලායන්ස් සමාගමේ VT-KRM අංක දරණ ගුවන් යානය චෙන්නායි සිට එරට ගුවන් නිලධාරීන් හා මගීන් කිහිපදෙනකු සමඟ අද පෙරවරු 10 ට යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අතර ගුවන් තොටුපළ ගිනි නිවන ඒකකය විසින් ජල ආචාර පවත්වා යානය හරසරින් පිළිගනු ලැබීය.

යාපනය ජාත්‍යන්තර ගුවන් ‍තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිතය.

1960 සහ 1970 දශකවල යාපනය සහ චෙන්නායි නගර අතර විනාඩි 45කින් යා හැකි ගුවන් සේවයක් තිබූ අතර පසුව ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් එහි ගුවන් ගමන් හා සේවාවන් නවතා දැමිණි. ආරක්ෂක අංශ විසින් ත්‍රස්ත ග්‍රහනයෙන් මුදා ගැනීමෙන් අනතුරුව යාපනය සහ කොළඹ අතර අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක් මෙම ගුවන්තොටුපළ යොදා ගැනිණි.

ගුවන්තොටුපොළෙහි එක් පර්යන්ත ගොඩනැගිල්ලක්, ගුවන් ගමන් පාලන මැදිරියක්, ගිනි නිවන ඒකකයක් සහ කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයක් ද මේ වන විට එහි ඉදි කර ඇති අතර,
එහි ධාවන පථය මීටර් 950 සිට මීටර් 1,400 දක්වා දීර්ඝ කිරීමට නියමිතය.

ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් තරන්ජිත් සිං සින්ධු මහතා, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, උතුරු පළාතේ දේශපාලන නියෝජිතවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *