Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසල ත්‍රස්ත ප්‍රහාරයක්: ආරක්ෂක නිලධාරියෙක් මරුට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ජෝර්දානයේ අම්මාන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රය ඉදිරිපිටදී එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයකින්, එහි ආරක්ෂක රාජකාරියේ නියුතුව සිටි ජෝර්දාන ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජෝර්දාන බලධාරීන් විසින් මෙම සිදුවීම නිල වශයෙන් ‘ත්‍රස්තවාදී ක්‍රියාවක්’ (Act of terrorism) ලෙස නම් කර ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කළේ, පසුගිය බ්‍රහස්පතින්දා (05) දහවල් 12.20ට පමණ තියුණු ආයුධයක් රැගත් ප්‍රහාරකයෙකු තානාපති කාර්යාල ගොඩනැගිල්ල අසල රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියා වෙත කඩාපැන මෙම මාරාන්තික ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජෝර්දාන ආරක්ෂක අංශයේ කෝප්‍රල් ජවාඩ් අලි කලෆ් අල්-සලයිටා (Jawad Ali Khalaf Al-Salaita) නමැති නිලධාරියාය.

ප්‍රහාරකයා අත්අඩංගුවට

ජෝර්දානයේ මහජන ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය (PSD) සඳහන් කරන්නේ, සිද්ධිය වූ වහාම ක්‍රියාත්මක වූ පොලිස් මුර සංචාරක නිලධාරීන් විසින් ප්‍රහාරකයා මෙල්ල කර අත්අඩංගුවට ගත් බවයි. එහිදී ඇතිවූ ගැටුමේදී පොලිස් නිලධාරියෙකුගේ මුහුණට තුවාල සිදුවී රෝහල්ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය ස්ථාවර මට්ටමේ පවතී.

මූලික විමර්ශනවලට අනුව, ආරක්ෂක අංශ සාමාජිකයින් ඉලක්ක කර සැලසුම් සහගතව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ජෝර්දාන බලධාරීහු පවසති. ‘ඇසෝසියේටඩ් ප්‍රෙස්’ (AP) පුවත් සේවයට අනුව, ප්‍රහාරකයා විසින් ඝාතනයට ලක්වූ නිලධාරියාගේ ගිනිඅවිය පැහැර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී අනෙක් පොලිස් නිලධාරීන් මැදිහත් වී ප්‍රහාරකයා කොටුකරගෙන ඇත.

“තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය සියලුදෙනාම ආරක්ෂිතයි”

නිවේදනයක් නිකුත් කරමින් අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරන්නේ, මෙම සිදුවීමෙන් තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියෙකුට හෝ ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට කිසිදු හානියක් සිදුව නොමැති බවත්, ඔවුන් සියලුදෙනාම පූර්ණ ආරක්ෂාවෙන් පසුවන බවත්ය.

රාජකාරිය වෙනුවෙන් දිවිපිදූ ජෝර්දාන ආරක්ෂක නිලධාරියාගේ පවුලේ ඥාතීන් සහ සගයන් වෙත සිය බලවත් ශෝකය පළකළ තානාපති කාර්යාලය, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති විශ්වනාත් අපොන්සු මහතාගේ මූලිකත්වයෙන් එරට ආරක්ෂක අංශ සමඟ එක්ව ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැඩි සුපරීක්ෂාකාරීත්වයෙන් පසුවන බවද සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකය.

ඔබේ අදහස