2026 වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවා ඇති අතර, ප්‍රධාන අපනයන ක්ෂේත්‍ර කිහිපයක් අභියෝගවලට මුහුණ දී තිබියදීත් භාණ්ඩ හා සේවා අපනයන දෙකෙහිම වර්ධනයක් වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සඳහන් කළේ, 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා අපනයනවල ඒකාබද්ධ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 9.01ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 8ක වර්ධනයක් බවයි.
භාණ්ඩ අපනයන ආදායම වසරින් වසර සියයට 8.95කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.07ක් දක්වා වර්ධනය වී ඇති අතර, සේවා අපනයන සියයට 4.49කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.94ක් දක්වා ළඟා වී ඇත.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT/BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ ලොජිස්ටික්ස් වැනි දැනුම් මත පදනම් වූ සේවා ක්ෂේත්රවල දායකත්වය මෙහිදී තවදුරටත් වර්ධනය වී ඇති බවද මණ්ඩලය පෙන්වා දෙයි.
ජූනි මාසයේදී පමණක් භාණ්ඩ අපනයන සියයට 15.09කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.31ක් වාර්තා කළ අතර, සේවා අපනයන සියයට 3.75කින් වර්ධනය වී ඇමෙරිකානු ඩොලර් මිලියන 344.52ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, ජූනි මාසයේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.66ක් ලෙස වාර්තා වූ අතර, එය 2025 ජූනි මාසයට සාපේක්ෂව සියයට 12.53ක වර්ධනයකි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසුවේ, වෙනස් වෙමින් පවතින ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ වුවද ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ ශක්තිමත්භාවය සහ තරගකාරීත්වය මෙම ප්‍රතිඵලවලින් පිළිබිඹු වන බවයි.
2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම යටතේ අපනයනකරුවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක්ව අපනයන තරගකාරීත්වය ශක්තිමත් කිරීම, නව වෙළෙඳපොළවල් සොයා ගැනීම සහ අගය එකතු කළ (Value-added) නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
ජූනි මාසයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළ ක්ෂේත්‍ර අතර විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, ආහාර හා පාන වර්ග, රබර් සහ රබර් ආශ්රිත නිෂ්පාදන, කුළුබඩු සහ සගන්ධ තෙල්, මුහුදු ආහාර, ඛනිජ නිෂ්පාදන සහ විසිතුරු මසුන් අපනයනය ප්රමුඛ විය.
එමෙන්ම ICT/BPM සේවා අපනයනයද ස්ථාවර වර්ධනයක් පවත්වාගෙන ගොස් ඇත.
කෙසේ වෙතත්, ඇඟලුම් හා රෙදිපිළි අපනයනය ජූනි මාසයේදී සියයට 11.74කින් පහත වැටී ඇති අතර, විශේෂයෙන් මැදපෙරදිග වෙළෙඳපොළවල ඉල්ලුම අඩුවීම හේතුවෙන් තේ අපනයනයද සියයට 10.58කින් පහත වැටී තිබේ.
පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයද සමස්තයක් ලෙස පහත වැටී තිබුණද, සක්‍රීය කාබන් (Activated Carbon) සහ පොල් කෙඳි ආශ්රිත නිෂ්පාදන හොඳ කාර්යසාධනයක් පෙන්නුම් කළ බව වාර්තාවේ සඳහන් වේ.
2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග අපනයනය සියයට 123.48කින් ඉහළ ගොස් ඇති අතර, ICT/BPM සේවා අපනයනය සියයට 17.63කින් වර්ධනය වී තිබේ.
මීට අමතරව, පොල් ආශ්රිත නිෂ්පාදන, ආහාර හා පාන වර්ග, මුහුදු ආහාර සහ රබර් ආශ්රිත නිෂ්පාදන අපනයනයද සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය.
එහෙත්, ඇඟලුම් අපනයනය සියයට 6.07කින්, තේ අපනයනය සියයට 5.69කින් සහ කුළුබඩු හා සගන්ධ තෙල් අපනයනය සියයට 0.10කින් පහත වැටී තිබේ.
2026 වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන ගමනාන්තය ලෙස එක්සත් රාජධානිය අභිබවා ඉන්දියාව ඉදිරියට පැමිණ ඇති අතර, ඉන්දියාව වෙත අපනයන වසරින් වසර සියයට 36.16කින් ඉහළ ගොස් ඇත.
එමෙන්ම, චීනය වෙත අපනයන සියයට 19.56කින් වර්ධනය වී ඇති අතර, තුර්කිය වෙත සිදු කළ අපනයන එම කාලසීමාව තුළ ආසන්න වශයෙන් දෙගුණ වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේය.


