20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල වන Aichi-Nagoya 2026 සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිල වශයෙන් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් ජපානයේ පැවැත්වෙන මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිතය.
එම කණ්ඩායමට පිරිමි ක්‍රීඩකයන් 100 දෙනෙකු සහ කාන්තා ක්‍රීඩිකාවන් 56 දෙනෙකු ඇතුළත් වන අතර, ඔවුන් ක්‍රීඩා ඉසව් 25ක් යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම පිහිනුම් සහ කිමිදුම්, දුනු විදීම, කලාත්මක ජිම්නාස්ටික්, ජූඩෝ, ඔරු පැදීම, රග්බි සෙවන්ස්, මේස පන්දු, ස්කොෂ්, බර ඉසිලීම, මල්ලවපොර, 3×3 පැසිපන්දු, වූෂු, කබඩි, බීච් වොලිබෝල්, මලල ක්‍රීඩා, බොක්සිං, කරාටේ, යාත්‍රා ධාවනය, ටයිකොන්ඩෝ, සර්ෆින්, බැඩ්මින්ටන්, ක්‍රිකට්, ගොල්ෆ්, නවීන පංචප්‍රයාම සහ හොකී යන ක්‍රීඩා සඳහා තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් ඉදිරිපත් කිරීම සැප්තැම්බර් 9 වැනිදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී සිදු කෙරිණි.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, අමාත්‍යාංශ ලේකම් ඒ.එච්.එම්.යූ. අරුණ බණ්ඩාර මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුතන් මහතා, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා සහ එහි ලේකම් ජනරාල් රිෆ්ඩි ෆහ්මි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Chef de Mission) ලෙස ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා කටයුතු කරන අතර, නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Deputy Chef de Mission) ලෙස අශෝක් ජයකුමාර් මහතා පත් කර තිබේ.
ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලය තුළ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ මෙහෙයුම්, පරිපාලන සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සහාය ඇතුළු කටයුතු කළමනාකරණය කිරීමේ වගකීම මෙම නිලධාරීන් ප්‍රමුඛ පුළුල් කළමනාකරණ සහ සහාය කණ්ඩායම වෙත පැවරී ඇත.


