හෝමාගම පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව රාජකාරිය පැහැරහැරීම, බරපතළ නොසැලකිලිමත්භාවය සහ නිලධාරීන් නිසි ලෙස අධීක්ෂණය නොකිරීම යන කරුණු මුල්කරගනිමින් හෝමාගම මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI) වැඩ වහාම ක්රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
පොලිස්පතිවරයාගේ (IGP) නියෝග මත මෙම වැඩ තහනම් කිරීම ඔක්තෝබර් 28 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සිදුකර ඇත්තේ, හෝමාගම මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක එම්.ආර්.එස්. ප්රජන් සේනානායක මහතා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඔහුගේ රාජකාරිමය වශයෙන් බරපතළ අඩුපාඩු රැසක් අනාවරණය වීමෙන් අනතුරුවය.
අයිස් (ICE) මත්ද්රව්ය මිලිග්රෑම් 490ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත පසුගිය ඔක්තෝබර් 25 වැනි දින හෝමාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද තරුණ සැකකරුවෙකු පසුව පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී අවාසනාවන්ත ලෙස මියගියේය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ උසස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අත්අඩංගුවේ පසුවූ සැකකරුගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳව නිසි අවධානයක් හෝ නිරීක්ෂණයක් නොකිරීම, විමර්ශන සිදුකළ කනිෂ්ඨ නිලධාරීන්ට අවශ්ය නිසි උපදෙස් ලබා නොදීම සහ මෙම අත්අඩංගුවට ගැනීමට අදාළ පොලිස් පොත්පත්වල වාර්තා හා සටහන් නිසි පරිදි පවත්වාගෙන යාම තහවුරු කිරීමට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අපොහොසත් වී ඇති බවයි.
මීට අමතරව, ස්ථානාධිපතිවරයා ලෙස නිසි අධීක්ෂණයක් සිදු නොකරමින්, පුද්ගලයන් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස පොලිස් ස්ථානය තුළ රඳවා තබා ගැනීමට තම නිලධාරීන්ට ඉඩහැරීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී ඇත.
අපරාධ අංශයේ ස්ථානාධිපති අද අධිකරණයට
මෙම සිදුවීමට අදාළව හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා (OIC Crimes) ඇතුළු තවත් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි තහනම් කර තිබිණි.
වැඩ තහනමට ලක්වූ එම අපරාධ අංශ ස්ථානාධිපතිවරයාව ඊයේ (28) බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් අතර, ඔහු අද (29) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


