නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක (රුපියල් කෝටි එකහමාරක) මුදලක් විශුද්ධිකරණය කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 2027 පෙබරවාරි මස 11 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට කරුණු දක්වමින්, මෙම සිද්ධියට අදාළ විමර්ශන උපුටා ගැනීම් නීතිමය උපදෙස් ලබාගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව දැනුම් දීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා දිනයක් ලබාදෙන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරයා නඩුව ලබන පෙබරවාරි 11 වැනිදා යළි කැඳවීමට නියම කරමින්, එදිනට විමර්ශනවල ප්රගතිය වාර්තා කරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.
නඩුවට පාදක වූ චෝදනාව
නීතිවිරෝධී මාර්ගවලින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 15ක මුදලක් ‘එන්.ආර්. කන්සල්ටන්සි’ (N.R. Consultancy) නමැති සමාගමේ ආයෝජනය කිරීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන සාපරාධී වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා ඇත.
සාපරාධී සාවද්ය පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය සිදුකළ බවට සඳහන් කරමින් ‘දූෂණ විරෝධී හඬ’ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් 2015 ජූලි 28 වැනි දින මූල්ය අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබිණි.
නාමල් රාජපක්ෂ, නිත්යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම සහ සුදර්ශන බණ්ඩාර ගනේගොඩ යන සිව්දෙනාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියෝග කර නොතිබූ අතර, සෙසු සැකකරුවන් තිදෙනා මහේස්ත්රාත්වරයා හමුවේ පෙනී සිටියහ.


