පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) ආයතනයේ ශාඛාවක කල් ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනය සමාව ඉල්ලා තිබේ.
කොළඹ ශාන්ත බෙනඩික්ට් මාවතේ පිහිටි P&S ශාඛාවේ සිදු වූ මෙම සිද්ධිය “අවංකවම සිදු වූ අත්වැරදීමක්” ලෙස හඳුන්වා ඇති එම සමාගම, සියලුම ශාඛාවල නිෂ්පාදනවල කල් ඉකුත්වීමේ දින පරීක්ෂා කිරීමේ ක්‍රමවේද තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන ඇත.
මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ කල් ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් Perera and Sons Bakers Pvt Ltd සමාගමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 200,000ක දඩයක් නියම කිරීමෙන් අනතුරුවය.
අප්‍රේල් 20 වැනිදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සිදු කළ පරීක්ෂාවකදී, අප්‍රේල් 16 වැනිදා කල් ඉකුත් වූ බව සඳහන් කර තිබූ ස්ට්‍රෝබෙරි රසැති ක්‍රීම් බන් අලෙවිය සඳහා තබා තිබියදී සොයා ගැනීමෙන් මෙම නඩු කටයුත්ත ආරම්භ වී තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් නිකුත් කළ මහජන දැනුම්දීමකදී P&S ආයතනය සඳහන් කර ඇත්තේ මෙම අඩුපාඩුව සිදුවූ ආකාරය පිළිබඳව සමාලෝචනය කරමින් සිටින බවයි.
අදාළ ශාඛාවේ පමණක් නොව, සිය සමස්ත ශාඛා ජාලය තුළම නිෂ්පාදන පරීක්ෂා කිරීමේ ක්‍රමවේද ශක්තිමත් කරමින් සිටින බවද සමාගම සඳහන් කර තිබේ.
මෙවැනි සිදුවීමක් යළි ඇති නොවීම සඳහා නිෂ්පාදනවල කල් ඉකුත්වීමේ දින පරීක්ෂා කිරීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස සිය කාර්ය මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බවද P&S පවසයි.
නැවුම් ආහාර ලබාදීමේ ප්රවේශයේ කොටසක් ලෙස තම නිෂ්පාදන සඳහා සාපේක්ෂව කෙටි කල් තබාගැනීමේ කාලයක් හිතාමතාම පවත්වාගෙන යන බවද සමාගම සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, එම ක්‍රමවේදය හේතුවෙන් අලෙවි රාක්කවල තබා ඇති නිෂ්පාදන සම්බන්ධයෙන් වඩාත් දැඩි අධීක්ෂණයක් අවශ්‍ය බවද සමාගම පිළිගෙන ඇත.
“මෙතැනදී අපෙන් අඩුපාඩුවක් සිදු වුණා” යනුවෙන් සඳහන් කර ඇති P&S ආයතනය, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න, ගැටලු හෝ යෝජනා ඇත්නම් සිය පාරිභෝගික සේවා මාර්ග ඔස්සේ සම්බන්ධ වන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා තිබේ.
මේ අතර, ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ඒවායේ නිෂ්පාදන දිනය සහ කල් ඉකුත්වීමේ දිනය පරීක්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මීට පෙර පාරිභෝගිකයන්ට දැනුම් දී තිබිණි.
කල් ඉකුත් වූ නිෂ්පාදන අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන පිළිබඳව 1977 දුරකථන අංකය ඔස්සේ අධිකාරියට පැමිණිලි කරන ලෙසද එම අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා තිබේ.



