15 හැවිරිදි දැරිය දූෂණය කළ ප්‍රාදේශීය සභා උප සභාපති වරයෙකු අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා අලෙවි කළ 15 හැවිරිදි දැරියව අපයෝජනය කළ හා ඊට අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව එම දැරිය අපයෝජනය කළ සහ ඊට අනුබල දුන් පුද්ගලයින් 21ක් මේ වන විට අත්අඩංගුවට පත්ව ඇත.

ඊයේ දිනයේ අත්අඩංගුවට පත් අය අතර, මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සහ ව්‍යාපාරිකයෙක් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට සහය දුන් පානදුර ප්‍රදේශයේ පදිංචි අයෙක් ද ඊයේ දිනයේ අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත් තිදෙනා අද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊයේ වැල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන එක් සැකකරුවෙක් තවත් කාන්තාවක් අලෙවි කිරීමට රැගෙන යන අවස්ථාවේ දී මෝටර් රථය සමඟ අත්අඩංගුවට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

දැරිය අපයෝජනය කිරීමේ සිදුවීමට ඊයේ දිනයේ දී පුද්ගලයින් 17ක් හා ඊට පෙර එක් අයෙක් අත්අඩංගුවට පත්ව තිබුණි.

අත්අඩංගුවට පත්වු අය අතර, දැරියගේ මව, දැරිය අලෙවි කළ පුද්ගලයාගේ අනියම් බිරිඳ, දැරියව අලෙවි කිරීමට එක් එක් ස්ථාන වෙත රැගෙන ගිය ත්‍රීරෝද රථ හා මෝටර් රථ රියදුරුවරු දෙදෙනෙක් හා දැරිය අලෙවි කිරීමට අදාළ වෙළෙඳ දැන්වීම නිර්මාණය කළ පුද්ගලයාව හා චීවරධාරියෙකු ද වේ.

අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා එම දැරියව මාස 3ක පමණ කාලයක් පුරා අලෙවි කර ඇති අතර, දැරියව රු 10,000ක්, රු15,000ක් හා රු 30,000ක් බැගින් මුදලකට අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *