15 හැවිරිදි දැරිය අපයෝජනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 26 දක්වා ඉහළට

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අපයෝජනය කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධව මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සිදුකරන විමර්ශන අනුව තවත් පුද්ගලයින් 16 දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් 20 දෙනෙකු අදාළ දැරිය ලිංගික කටයුතු සඳහා අපයෝජනය කළ පුද්ගලයින් වන අතර අනෙක් 6 දෙනා අදාළ දැරියව ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සහ ප්‍රවාහනය කළ පුද්ගලයින් බවට හඳුනාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර අදාළ දැරියගේ මව සහ මෙම දැරිය අන්තර්ජාලයේ අලෙවි කිරිම සඳහා වන දැන්වීම සකස් කළ පුද්ගලයා ද වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීමේදී පෙරේදා අත්අඩංගුවට ගත් 4 දෙනා අතර මැණික් ව්‍යාපාරිකයෙක්, නැවක කපිතාන්වරයෙක් සහ ඔහුගේ සහායකයෙක් සිටින බවද අනාවරණය වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දැරියගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී තවත් පුද්ගලයින් රැසක් පිළිබඳව තොරතුරු අනාවරණයවෙමින් පවතින බවද අජිත් රෝහණ මහතා පැවසීය.

ඉකුත් ජුනි 7වන දින ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම සිද්ධිය අනාවරණය වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *