15 හැවිරිදි දැරියගේ මවට ඇප

හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම, විකිණීම සහ එම කටයුතුවලට ආධාර අනුබල දීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද (07) කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ට නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්ව විමර්ශන සිදුකර සවිස්තරාත්මක කරුණු ද සමග සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අදාළ දැරියගේ මව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස ද මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැරැව්කරුවකු සහ කෑගල්ලේ චීවරධාරියෙකු ඇපමත මුදා හරින ලද අවස්ථාවේදී ඔවුන් පොලීසියට වාර්තා කළයුතු බවට ඇප කොන්දේසියක් පනවා නොමැති බව මෙහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයේ අවධානයට යොමුකර තිබේ.

එහිදී මහෙස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ට පෙන්වා දුන්නේ එම ඉල්ලීම අදාළ සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේදී සිදු කළ යුතුව තිබු බවය.

ඇපමත මුදා හරින ලද එම සැකකරුවන් යළි කැඳවා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බවත් මෙහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනට ඇපමත මුදා හැර සිටින චීවරධාරියා දස වතාවක් පමණ කේවල් කර දැරියට ගෙවිය යුතු මුදල රුපියල් 18,000/- සිට 13,000/- දක්වා අඩුකර ගෙන ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව සඳහන් කළේය.

එම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර තිබීම හේතුවෙන් වින්දිත දැරිය දැඩි භීතියකට පත්ව සිටින බව සඳහන් කළ විමර්ශන නිලධාරීන් ඇය රඳවා සිටින ස්ථානයට නිසි ආරක්ෂාව සපයන ලෙස රාගම පොලීසියට දැනුම් දී තිබෙන බවත් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ තවත් කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනෙකු එම අපරාධය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බව දැනුම් දී තිබූ හෙයින් එම සැකකරුවන් තුන්දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් ආවරණය කර අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

මෙහි දී මහෙස්ත්‍රාත්වරිය එම සැකකරුවන්ට දැනුම් දුන්නේ තමා ඉදිරියේ සිදුකරනු ලබන ප්‍රකාශය ඉදිරි නඩු විභාගයක දී සැකකරුවන්ට එරෙහිව සාක්ෂියක් වශයෙන් භාවිත කිරීමට නීතියෙන් හැකියාව පවතින බවය.

එබැවින් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමට පෙර හොඳින් සිතා බලා ඒ පිළිබඳව ලබන 09 වනදා අධිකරණයට දැනුම්දෙන ලෙස අදාළ සැකකරුවන්ට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය එදින මෙම සැකකරුවන් තිදෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *