12 හැවිරිදි දැරියක් ද කොවිඩ් මාරයා බිළිගනී

නාවල, ජනාධිපති බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 12 හැවිරිදි දැරියක් කොවිඩ් ආසාදිතව අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

අභිමානී නවෝද්‍යා සේරසුන්දර නමැති 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඇය රාජගිරිය, ගල්පොත්ත පාරේ පදිංචිව සිටි දැරියකි.

ඉකුත් සතියේ ඇයට හටගත් සුළු අසනීප තත්ත්වය පසුව ශ්වසන අපහසුතාවක් දක්වා වර්ධනය වී තිබුණි.

පසුගිය සෙනසුරාදා ඇයව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණයේදී දැරියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබුණි.

“මගේ දරුවට වෙච්ච දේ වෙනත් කිසිම දරුවෙකුට වෙන්න දෙන්න එපා. කොරෝනා ට ජය ගන්න ඉඩ දෙන්න එපා.,” යැයි මියගිය දැරියගේ මව පැවසුවාය.

මියගිය දැරියගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණු අතර ඇයගේ පවුලේ සාමාජිකයින් සියලුදෙනා ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බැවින් ඇයට පිං පැමිණවීම ප්‍රදේවාසීන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණි.

මේ අතර, මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දෙවන දිනටත් 4,000 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ගණන 4,355කි.

ඒ අතරින් 2 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්ය.

මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 394,355 දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රතිකාර සහ නිරෝධායන කාලසීමාව අවසන් කළ සංඛ්‍යාව 344,381කි.

ඒ අනුව පුද්ගලයින් 42,414 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනින් පසුවෙයි.

මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 7,560 දක්වා ඉහළ ගොස් තිබේ.

දැනට භාවිතයට ගන්නා ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික් V, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා ඊයේ පුද්ගලයින් 175,431 දෙනෙකුට ලබාදී ඇත.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද දිනයේත් දිස්ත්‍රික්ක රැසකදී ක්‍රියාත්මක අතර යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් නිවෙස්වලටම ගොස් වයස අවුරුදු 60ට වැඩි සහ බරපතළ රෝගාබාධ සහිතව එක්තැන්ව සිටින පුද්ගලයින්ට එන්නත් ලබාදීම ද සිදුකරයි.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේ වනවිට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 01 කෝටි 21 ලක්ෂ 29,492 කි.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාවද ලක්ෂ 58 ඉක්මවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *