වතුපිටිවල ආයෝජන කලාප පොලිස් මුරපොළට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු ජනතාව සමඟ උණුසුම් බහින්බස්වීමක නිරත වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් අනතුරුව ඔහුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
පොලිසිය සඳහන් කළේ, මෙම සිද්ධිය ජූලි 23 වැනිදා පෙරවරු 10.45ට පමණ වතුපිටිවල රෝහල අසල පිහිටි පෞද්ගලික ආයතනයක් ඉදිරිපිටදී සිදුව ඇති බවයි.
පොලිසියට අනුව, නිල ඇඳුමින් සැරසී සිටි මෙම නිලධාරියා රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකුට නොගැළපෙන ආකාරයෙන් හැසිරී ඇති අතර, ජනතාව සමඟ ඇති වූ බහින්බස්වීමේදී තර්ජනාත්මක ස්වරයකින් කතා කර ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ.
මෙම හැසිරීම ශ්‍රී ලංකා පොලිසියට මෙන්ම සමස්ත රාජ්‍ය සේවයටද අපකීර්තියක් ගෙන දිය හැකි අතර, අනෙකුත් නිලධාරීන්ටද වැරදි පූර්වාදර්ශයක් සපයන බව පොලිසිය සඳහන් කළේය.
ඒ අනුව, ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව අදාළ නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
නීතිය හා විනය ආරක්ෂා කිරීමේ වගකීම දරන පොලිස් නිලධාරීන්ගේ නුසුදුසු හෝ විනය විරෝධී හැසිරීම් කිසිදු ආකාරයකින් ඉවසනු නොලැබෙන බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කළේය.


