හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව හෙළි වේ

මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැක කෙරෙන හරක් කටා නමැත්තාගේ මත්ද්‍රව්‍ය තොග ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත්තේ බහුදින ධීවර යාත්‍රාවලින් බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගියදා දකුණු වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරුව ඒ සම්බන්ධ තහවුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව පසුගිය දිනවල මෙරටට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොග රැගෙන එන ලද බහුදින ධීවර යාත්‍රාවක් පදවාගෙන ගිය පුද්ගලයා ඊයේ මාතර කෝට්ටේගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 52කට අධික මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.

පසුගිය දිනවල මෙරටින් සොයාගත් මත්ද්‍රව්‍ය තොග ජාත්‍යන්තර මුහුදේ දී ලබාගෙන මෙම පුද්ගලයා පදවන ලද බහුදින ධීවර යාත්‍රාවෙන් ශ්‍රී ලංකාව ආසන්න ප්‍රදේශයකට රැගෙනවිත් කුඩා බෝට්ටුවලට ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *