වෛද්‍ය නිලධාරී සෞඛ්‍ය කොට්ඨාස 62ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන ජාතික වැඩසටහනක් සැප්තැම්බර් 14 වැනිදා සිට 19 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කර තිබේ.
ඊසානදිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟ ඩෙංගු රෝගය තවදුරටත් පැතිර යා හැකි බැවින් එය පාලනය කිරීමේ අරමුණින් මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔහු පවසා ඇත.
උතුරු, නැගෙනහිර, උතුරු මැද, බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වල ඩෙංගු අවදානම ඉහළ ප්‍රදේශ මෙම වැඩසටහන යටතේ ඉලක්ක කර තිබේ.
ජාතික ඩෙංගු පාලන ඒකකයේ නවතම දත්ත අනුව, 2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 96,482 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ 73ක් සිදුව තිබේ.
ඒ අනුව ඩෙංගු රෝගීන් අතර මරණ අනුපාතය සියයට 0.076ක් ලෙස වාර්තා වී ඇත.
වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එම පළාතෙන් මේ වන විට රෝගීන් 50,395 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 20,527ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,074ක් වාර්තා වී ඇති අතර, එම දිස්ත්‍රික්ක දෙක ඩෙංගු අවදානම ඉහළම ප්‍රදේශ අතරට එක්ව තිබේ.
මීට අමතරව, දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 13,740ක්, මධ්‍යම පළාතෙන් 8,093ක් සහ සබරගමුව පළාතෙන් 5,590ක් වාර්තා වී ඇත.
මාසික දත්ත අනුවද වසරේ මැද භාගයේදී ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරයි. ජූලි මාසයේදී රෝගීන් 29,964ක් සහ ජුනි මාසයේදී රෝගීන් 21,533ක් වාර්තා වී ඇති අතර, ජනවාරි මාසයේදී රෝගීන් 7,866ක් සහ මාර්තු මාසයේදී 5,601ක් පමණක් වාර්තා වී තිබිණි.
වර්ෂා සමයත් සමඟ මදුරු බෝවීමේ ස්ථාන ඉහළ යා හැකි බැවින්, ඩෙංගු මර්දන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම මෙම විශේෂ ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.


