සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.

ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වාර්තාවක් පිහිටුවා තිබෙන අතර එය 2022 වසරේ ලාභ ප්‍රමාණය මෙන් දෙගුණයකි.

මේ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් දායකත්වය පෙර වසරට සාපේක්ෂව 13%ක ප්‍රතිශතයකින් ඉහළ දමමින් රුපියල් 3,622,506,725 ක අගයක් සහිතව බිලියන තුනක ඉලක්කය ඉක්මවා තිබේ.

ඒ සමඟම රජයට පිරිනැමෙන දායකත්වය 6%කින් ඉහළ දමමින් රුපියල්  5,193,833,721 ක් ජනාධිපති අරමුදලට පිරිනමා ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරංගල මහතා  සඳහන් කළේ  අභියෝගාත්මක කාලවකවානුවේදී  රටේ ආර්ථිකයේ ඇති වූ අයහපත් බලපෑම් අවම කිරීමට  සංවර්ධන ලොතරැයි මණ්ඩලය උපයෝගී කරගත් ක්‍රමෝපායන් නිසා ඉතා කෙටි කාලයකදී ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට හැකිවූ බවයි.

මේ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුවිශේෂී මඟපෙන්වීමක් ලබා දුන් බවද සභාපතිවරයා පැවසීය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය ලොතරැයි ටිකට්පත් මෙන්ම අලුතින් හඳුන්වා දෙන ලද විශේෂ ටිකට්පත් සඳහා පිරිනැමෙන තෑගි මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත්, මෙරට පාරිභෝගික ජනතාවට නව අත්දැකීමක් ලබා දෙමින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලොතරැයි ටිකට්පත් හඳුන්වාදීම ද ආරම්භ කර ඇති බවත් පැවසූ සභාපතිවරයා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායමෙන් 50%ක්ම වෙන් කරනු ලබන්නේ මෙරට අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් වීම ද විශේෂත්වයක් බව  පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *