ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දෛනික අලාභය රුපියල් මිලියන 84ක්

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ දෛනික අලාභය රුපියල් මිලියන 84ක් බව කෝප් කමිටු විමර්ශනයේදී ඊයේ (06) අනාවරණ වුණි.

එහිදී කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත් මහතා ශ්‍රී ලංකන් ආයතනයට දැනුම් දී ඇත්තේ “ආයතනික ව්‍යාපාර සැලසුම” පිළිබඳව  ක්‍රමානුකූල වාර්තාවක් මසක් ඇතුළත කෝප් කමිටුවට ඉදිරිපත්කරන ලෙසය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට අදාළව එම පූර්ණ සැලැස්ම සැකසිය යුතු බවය.

එමෙන්ම පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍යංශ මට්ටමින්ද වාර්තාවක් මසක් ඇතුළත ලබාදෙන ලෙස කාරක සභාව, සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයාට නිර්දේශ කළේය.

විශේෂඥ කමිටුවක් පත්කර පුළුල් අධ්‍යයනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසද කාරක සභාව  නිර්දේශ කළේය.

සීමාසහිත ශ්‍රී  ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට, එය නැවත රජයට පවරා ගැනීමේ දින සිට සමුච්චිත අලාභය රුපියල් මිලියන 372,015ක් බව කෝප් කාරක සභාවේදී අනාවරණය විය.

2020/21 වර්ෂයේ බදුවලට පසු එම සමාගමේ මුළු අලාභය රුපියල් මිලියන 45,674 ක් බවත්, මෙහෙයුම් අලාභය ද වැඩි වී තිබෙන බවත් කාරක සභාවේ සභාපතිවරයා පැවසීය.

ඊට කොවිඩ්-19 වසංගතයේ බලපෑම මෙන්ම, ගුවන් යානා ඉන්ධන පිරිවැය, ගුවන් යානා මෙහෙයුම් කල්බදු පිරිවැය සහ අනෙකුත් මෙහෙයුම් කල්බදු පිරිවැය සහ අනෙකුත් මෙහෙයුම්වල වියදම්වල ඉහළ යෑමට බලපා තිබේ.

සමාගමේ අහිතකර ප්‍රාග්ධන තත්ත්වය 2021 මාර්තු 31 දින වනවිට බරපතළ තත්ත්වයකට පත්ව තිබෙන බවත්, එහෙයින් භාණ්ඩාගාරයේ සහයක් නොමැතිව සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයකට මුහුණදී සිටින බවත් කාරක සභාව නිරීක්ෂණය කළේය.

2020 වසරේදී භාණ්ඩාගාරය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක අතිරේක ප්‍රාග්ධන යෙදවීමක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබූ අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 240ක මුදලක් මේ වනවිටත් සමාගම වෙත නිකුත් කර ඇති බව ද කාරක සභාවේ නිරීක්ෂණය විය.

එම මුදල් භාවිතකර ඇති ආකාරය සම්බන්ධව ද කාරක සභාව විශේෂ අවධානයක් යොමුකර තිබුණි.

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට සේවයේ යෙදී සිටින ඉහළ කළමණාකරණයේ නිලධාරියෙකු රුපියල් මිලියන 3.1 ක මාසික වැටුපක්ද, ගුවන් නියමුවන් 82ක් රුපියල් මිලියන 02කට වැඩි මාසික වැටුපක් ද, තවත් ගුවන් නියමුවන් 142 දෙනෙකු, ගුවන් යානා ඉංජිනේරුවන් 12 දෙනෙකු, ඉංජිනේරු අංශයේ කළමණාකරුවන් 09 දෙනෙකු හා ඉහළ කළමණාකරණයේ නිලධාරින් 03 දෙනෙකු රුපියල් මිලියනයත් මිලියන 02 අතර මාසික වැටුපක් ලබන බවද කාරක සභාවේ නිරීක්ෂණයට ලක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *