“ශ්‍රී ලංකා පාපන්දුව ලෝක වේදිකාවේ තිබිය යුතු බව පෙන්වූ අවස්ථාවක්” – ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති

FIFA Series හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකා පාපන්දුව වැදගත් ඉදිරි පියවරක් තැබූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වාර් උමාර් මහතා පවසයි.

Fédération Internationale de Football Association (FIFA) විසින් බෙදාගත් ප්‍රකාශයක ඔහු මේ බව සඳහන් කර තිබේ.

2024 මාර්තු මාසයේදී කොළඹ රේස්කෝස් පිටියේදී පළමු FIFA Series තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු අතර, එහිදී භූතානය, මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ පැපුවා නිව්ගිනියාව ශ්‍රී ලංකාව සමඟ එක්ව තරග කර තිබේ.

මහාද්වීපික පාපන්දු සම්මේලන තුනක් නියෝජනය කරමින් රටවල් හතරක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්විණි.

ඔහු  සඳහන් කළේ මෙම තරගාවලිය ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් පැවැත්වීමකට පමණක් සීමා නොවූ අතර, ශ්‍රී ලංකා පාපන්දුව ගෝලීය වේදිකාවට ගෙන යාමේ වැදගත් සන්ධිස්ථානයක් වූ බවයි.

රේස්කෝස් පිටියද සම්මේලනය වෙතින් ශ්‍රී ලංකා පාපන්දුවට ලබාදෙන අඛණ්ඩ සහයෝගයේ සංකේතයක් බවට පත්ව තිබේ. FIFA Forward වැඩසටහන යටතේ යටිතල පහසුකම් සහ ධාරිතා සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාදෙන අරමුදල් භාවිත කරමින් එම ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර ජාත්‍යන්තර තරග පැවැත්වීමට සුදුසු තත්ත්වයට පත් කර තිබේ.

FIFA විසින් බෙදාගත් ප්‍රකාශයේදී ජස්වාර් උමාර් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, 2024 මාර්තු මාසයේදී කොළඹදී පළමු FIFA Series තරගාවලිය පැවැත්වීම ජාත්‍යන්තර තරගාවලියක් සාර්ථකව පැවැත්වීමකට වඩා බොහෝ එහා ගිය අවස්ථාවක් බවයි.

“ශ්‍රී ලංකාව වෙනුවෙන් එය අපේ පාපන්දුව ගෝලීය වේදිකාවේ තිබිය යුතු බවට කළ ප්‍රබල ප්‍රකාශයක්. එමෙන්ම තවමත් තම පාපන්දු ශක්තිය ගොඩනඟමින් සිටින රටවල්වලට තරග කිරීමට, ඉගෙනීමට සහ සිහින දැකීමට අර්ථවත් අවස්ථා හිමිවිය යුතු බවත් එය පෙන්වා දුන්නා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *