ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) යටතේ දිවයින පුරා ඩිපෝ සඳහා කොන්ත්‍රාත් පදනම මත රියැදුරන් සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබේ.
ඒ අනුව රියැදුරු පුරප්පාඩු 788ක් සහ කොන්දොස්තර පුරප්පාඩු 249ක් සඳහා බඳවා ගැනීම් සිදුකෙරෙන අතර, අදාළ ප්‍රදේශවලින් බඳවා ගන්නා අපේක්ෂකයන්ට ප්‍රමුඛතාව ලබාදීමට නියමිතය.
රියැදුරු තනතුර සඳහා අයදුම්කරුවන් වයස අවුරුදු 21ත් 45ත් අතර විය යුතු අතර, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් හයක් සමත් වී ඉන් විෂයයන් දෙකකට සම්මාන සාමාර්ථ ලබා තිබිය යුතුය. එමෙන්ම වසර තුනකට වැඩි කාලයක් වලංගු බර වාහන රියැදුරු බලපත්‍රයක් තිබිය යුතු අතර, නියමිත ශාරීරික හා සෞඛ්‍ය සුදුසුකම්ද සපුරාලිය යුතුය.
කොන්දොස්තර තනතුර සඳහා අයදුම්කරුවන් වයස අවුරුදු 18ත් 45ත් අතර විය යුතුය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් හයක් සමත් වී තිබිය යුතු අතර, ගණිතය සහ මව් භාෂාව ඇතුළු විෂයයන් සඳහා සම්මාන සාමාර්ථ දෙකක් ලබා තිබීම අවශ්‍ය වේ.
තෝරාගනු ලබන රියැදුරන්ට මාසික මූලික කොන්ත්‍රාත් දීමනාව ලෙස රු. 40,847ක්ද, කොන්දොස්තරවරුන්ට රු. 40,008ක්ද හිමිවන අතර, ඊට අමතරව රු. 17,800ක ජීවන වියදම් දීමනාව, අතිකාල සහ දිරි දීමනාද හිමි වේ.
සේවකයන් විසින් සේවක අර්ථසාධක අරමුදලට (EPF) සියයට 8ක දායකත්වයක් ලබාදිය යුතු අතර, සේවායෝජකයා සියයට 12ක දායකත්වයක් ලබාදෙනු ඇත. සේවායෝජකයා විසින් සේවක භාරකාර අරමුදලට (ETF) සියයට 3ක දායකත්වයක්ද ලබාදීමට නියමිතය.
බඳවා ගැනීම සම්මුඛ පරීක්ෂණයක්, ප්‍රායෝගික පරීක්ෂණයක් සහ අදාළ පුහුණු පාඨමාලා වල ප්‍රතිඵල මත සිදුකෙරේ. පත්වීමෙන් පසු සේවා ස්ථානය වෙනස් නොකරන බවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.
තෝරාගනු ලබන අපේක්ෂකයන්ට සේවා ස්ථානයේ සිට කිලෝමීටර් 30ක අරයක් තුළ නිවසේ සිට සේවා ස්ථානයට සහ ආපසු ගමන් කිරීම සඳහා ගමන් බලපත්‍රද නිකුත් කෙරේ.
නියමිත ආකෘතියට අනුව සකස් කළ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් සැප්තැම්බර් 7, 2026 වැනිදාට පෙර ලැබෙන සේ,
ප්‍රධාන විධායක නිලධාරී,
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,
අංක 200, කිරුළ පාර,
නාරාහේන්පිට, කොළඹ 05
යන ලිපිනයට යොමු කළ යුතුය.
අයදුම් කරන තනතුර සහ දිස්ත්‍රික්කය ලිපි කවරයේ ඉහළ වම් කෙළවරේ පැහැදිලිව සඳහන් කළ යුතු අතර, සම්මුඛ පරීක්ෂණයේදී පාසල් හැරයාමේ සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
අසම්පූර්ණ අයදුම්පත් හෝ නියමිත ආකෘතියට අනුකූල නොවන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.


