ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර දේශපාලන උපදේශන ක්‍රමවේදයක් සඳහා අවබෝධතා ගිවිසුමකට අනුමැතිය

ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර විධිමත් දේශපාලන උපදේශන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 30ක් සපිරීමද සමරන අවස්ථාවක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිත අතර, එය ලිතුවේනියා ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අතර අත්සන් කෙරෙනු ඇත.

මෙම ගිවිසුම හරහා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දේශපාලන, ආර්ථික, වෙළෙඳ, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඇතුළු අංශ රැසක සහයෝගීතාව වැඩිදියුණු කිරීම අරමුණු කර තිබේ.

එමෙන්ම දෙරටට පොදුවේ වැදගත් වන අරමුණු ඉදිරියට ගෙන යාම සඳහාද මෙම දේශපාලන උපදේශන ක්‍රමවේදය හරහා සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *