විකිණීම, ගබඩා කිරීම, බෙදාහැරීම හෝ ප්‍රදර්ශනය සඳහා තබා ඇති භාණ්ඩවල මූලාශ්‍රය තහවුරු කළ හැකි බිල්පත්, ඉන්වොයිසි හෝ වෙනත් අදාළ ලේඛන ළඟ තබා ගැනීම වෙළෙඳුන්ගේ වගකීමක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) සිහිපත් කර තිබේ.
අධිකාරිය විසින් නිකුත් කර ඇති අංක 83 දරන නියෝගය යටතේ නිෂ්පාදකයන්, ගබඩා හිමිකරුවන්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන් සහ වෙළෙඳුන් සතුව එම භාණ්ඩ සම්බන්ධ ලිඛිත, මුද්‍රිත හෝ විද්‍යුත් රිසිට්පතක්, බිල්පතක් හෝ ඉන්වොයිසියක් තිබිය යුතුය.
එම ලේඛනයේ සැපයුම්කරුගේ නම සහ ලිපිනය, මිලදී ගත් දිනය, මිලදී ගැනීමේ මිල, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය සහ අදාළ අවස්ථාවලදී කාණ්ඩ අංකය ඇතුළත් විය යුතුය. මෙම නියෝගය 2022 අප්‍රේල් 27 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
විශේෂයෙන් ආනයනික භාණ්ඩ ඇතුළු භාණ්ඩවල මූලාශ්‍රය තහවුරු කිරීමට නොහැකි වන වෙළෙඳුන්ට පරීක්ෂණවලදී ගැටලු මතුවිය හැකි බව අධිකාරිය පවසයි.
භාණ්ඩවල මූලාශ්‍රය තහවුරු කිරීම සඳහා වෙළෙඳුන්ගෙන් සැපයුම්කරුවන්, තොග වෙළෙඳුන් හෝ බෙදාහරින්නන් සහ ආනයනකරුවන් දක්වා සැපයුම් දාමය පරීක්ෂා කිරීමට නිලධාරීන්ට හැකියාව පවතී.
වෙළෙඳපොළ පරීක්ෂණ සහ වැටලීම් අතරතුර අදාළ ලේඛන පරීක්ෂා කළ හැකි අතර, නීති උල්ලංඝනයක් අනාවරණය වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවද අධිකාරිය සඳහන් කරයි.
අවශ්‍ය අවස්ථාවලදී අදාළ භාණ්ඩ නඩු භාණ්ඩ ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද හැකි බව අධිකාරිය පවසයි.
එබැවින් තම පරිශ්‍රවල තබා ඇති සියලුම භාණ්ඩ සඳහා අදාළ බිල්පත්, ඉන්වොයිසි සහ අනෙකුත් සැපයුම් ලේඛන ආරක්ෂිතව ළඟ තබා ගන්නා ලෙසත්, අවශ්‍ය අවස්ථාවකදී විද්‍යුත් ඉන්වොයිසි ඉදිරිපත් කළ හැකි බව සහතික කරන ලෙසත් අධිකාරිය වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටී.


