වසර 3කට වැඩි සිර දඬුවමකට යටත් වූ ඕනෑම පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඇඳුමින් ඉදිරිපත් කළ යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ කොමසාරිස් සෙනක පල්ලත්තැන්න මහතා පවසයි.
සිරකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔවුන් අඳින ඇඳුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළවෙමින් තිබීම හේතුවෙන් ඔහු මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර තිබේ.
බන්ධනාගාර රෙගුලාසි අනුව, සරල සිර දඬුවමකට යටත් වූ බෞද්ධ භික්ෂුවකට බන්ධනාගාරයේ දඬුවම ගත කරන කාලය තුළ සිවුරු දැරීමට අවසර ලබාදිය හැකි බව පල්ලත්තැන්න මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත්, දඬුවම බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නම්, අදාළ පුද්ගලයා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඇඳුම් ඇඳිය යුතු බවද ඔහු පවසයි.
සිර දඬුවමට යටත් වූ පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එම සිර දඬුවම වසර 3කට අඩු නම්, දඬුවම නියම කිරීමට පෙර ඔහු හෝ ඇය පැළඳ සිටි සිවිල් ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් වීමට බන්ධනාගාර අධිකාරිවරයාට අවසර ලබාදිය හැකි බවද පල්ලත්තැන්න මහතා සඳහන් කරයි.
එවැනි අවස්ථාවක බෞද්ධ භික්ෂුවකට සිවුරු දැරීමටද අවසර ලබාදිය හැකි බව ඔහු පැහැදිලි කර තිබේ.
කෙසේ වෙතත්, වසර 3කට වැඩි සිර දඬුවමකට යටත් වූ ඕනෑම පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඇඳුමින් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරයි.
මේ වන විට දිවයින පුරා බන්ධනාගාරවල ආගමික පූජකවරුන් 73කට වැඩි පිරිසක් සිර දඬුවම් විඳිමින් සිටින බවද පල්ලත්තැන්න මහතා සඳහන් කළේය. එම ආගමික නායකයන් ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඇඳුමින් සිය සිර දඬුවම් ගත කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.


