වෛද්‍ය ක්ෂේත්‍රයට කිසිදු දේශපාලන අත පෙවීමක් නැති බව කෙහෙළිය අමාත්‍යවරයා පවසයි

වෛද්‍ය ක්ෂේත්‍රය සදහා කිසිදු දේශපාලන අත පෙවීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

යම්කිසි පුද්ගලයෙකු වෛද්‍ය ක්ෂේත්‍රයට දේශපාලන අතපෙවීම් සිදුව ඇති බවට සනාථ කළහොත් තමා හෙට දිනයේදී අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු සදහන් කළේය.

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන්  රෝගීන් පීඩාවට පත්විය.

එම සංගමය පවසන්නේ තම ඉල්ලීම් ලබාදෙනතුරු වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩ වර්ජනය ක්‍රියාත්මක විය.

රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් රැසක් ඒ හේතුවෙන් දුෂ්කරතාවට පත්විය.

ඇතැම් පෞද්ගලික බෙහෙත් ශාලා වලින් ප්‍රතිකාර ගැනීමට පැමිණි ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටින ආකාරය ද අද දක්නට ලැබුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස වර්ජනයක් දියත් කළේ මෙතෙක් පැවති – සීමාවාසික වෛද්‍ය පත්වීම් මාරුවීම් මණ්ඩලයක් හරහා සිදුකිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණයට විරෝධය පළ කරමින්.

එම මාරුවීම් මණ්ඩල සාමාජිකයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සහ රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ගෙන් සමන්විත වූ අතර ඒ අනුව අදාල මාරුවීම් පටිපාටීන්ට සම්බන්ධවීමේ හැකියාව වෘත්තිය සංගම් සාමාජිකයන්ට උදා වී තිබුණි.

නමුත් මෙවර එම මණ්ඩලය හරහා පත්වීම් තීරණය නොකර සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සෘජුව පත්වීම් සිදුකිරීමට පියවර ගෙන තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කළේ එම තීන්දුව වෙනස්කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගනිමින්.

මීට අදාළව  සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවද අසාර්ථක වී තිබේ.

මේ අතර අනෙකුත් වෛද්‍ය සංගම් පෙන්වා දෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සීමාවාසික පත්වීම් ලබා පැමිණෙන නව සාමාජිකයන් ඔවුන්ගේ සංගමයට එක් කරගැනීමේ අරමුණින්ම පැවති පත්වීම් ක්‍රමවේදය ඉල්ලා සිටින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *