ලබන මස අවසානයේ ගුවන්තොටුපල නිල වශයෙන් විවෘත කරනවා – සංචාරක ඇමති

ඊයේ (28) දිනයේ සිට ජනවාරි 24 වැනි දින දක්වා ක්‍රියාත්මක වන සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවල් වලින් සංචාරකයන් 2580ක් මෙරටට පැමිණීමට නියමිත බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ දිනයේ යුක්රේන සංචාරක කණ්ඩායම මෙරටට පැමිණිමට පෙර මත්තල ගුවන්තොටුපල පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සංචාරක බුබුල (Travel Bubble) සංකල්පය යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එම වැඩසටහන ක්‍රියාත්මක කරමින්, හඳුනාගත් කලාපයක මෙම සංචාරකයින්ට නවාතැන් සැපයෙන බවත්, ඔවුන් සහ ප්‍රදේශවාසීන් අතර කිසිඳු සම්බන්ධයක් ඇති නොවන ලෙසට කටයුතු සැලසුම් කර ඇති බවත් ඇමතිවරයා පැවසීය.

මෙම නියාමන ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ විශ්ලේෂණය කර එහි අඩුපාඩු හඳුනාගෙන ඒවාද නිවැරදි කර ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ලබන ජනවාරි මස අග දී ගුවන්තොටුපල නිල වශයෙන් යලි විවෘත කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා පවසා සිටියේය.

වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.

“සංචාරකයන්ට රට යලි විවෘත කිරීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීමේ කටයුතු අඩාල වන්නේ නෑ. සංචාරකයන් ආවත් අපේ ප්‍රමුඛතාව මව්බිම ඒමට සිටින අපේ ජනතාවටයි. ඒ වගේම සංචාරකයන්ට රට නැවත විවෘත කිරීම සමඟ සංචාරක පොකුරු ඇතිවේවි යැයි කිසිවෙකු බිය විය යුතු නෑ. අපි මේ නියාමන ව්‍යාපෘතිය තුල සංචාරකයන් හා අපේ රටේ ජනතාව සම්බන්ධ වීම උපරිමයෙන් අවම කර තිබෙනවා. සංචාරකයන්ට ගැවසිය හැක්කේ අදාල හෝටල් වල හා වෙරල තිරයේ පමණයි. මේ කාලය තුල ඔවුන් සිටින ප්‍රදේශයට මෙරට වැසියන්ට යාමට නොහැකියි. සංචාරකයන් රටින් පිටව ගිය පසු අදාල හෝටල් සේවකයන් දින 14ක් එම හෝටල් වලම නිරෝධායනය කරනවා. ඒ නිසා ඒ ගැන අනියත බියක් ඇති කරගත යුතු නෑ..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *