ලක්ෂ තුනහමාරේ රන්මාලයක් පැහැරගෙන ගිල දමයි, එක්ස්රේ පරීක්ෂාවේදී හසුවෙයි

අද පෙරවරුවේ හැටන් තරුණ බෞද්ධ සමිතියට පිවිසෙන මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා රන්මාලයක් පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ හැටන් පොලීසියේ විමර්ශණ අංශයේ නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා අදාළ සැකකරුව අල්ලා ගෙන තිබේ. එහිදී සැකකරු විසින් සොරාගත් රන්මාලය ගිල දමා ඇත. අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් නිලධාරින් විසින් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර එක්ස්රේ ඡායාරූප ගෙන පරික්ෂා කිරීමේදී අදාළ රන් මාලය උදරයේ රැදී තිබෙන ආකාරය දැක ගැනීමට හැකි වී තිබේ.

මෙම සැකකරු එළඹෙන 21වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් වැඩ බලන මහෙස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය අද (08) නියෝග කළ අතර බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත්තේ මෙම සැකකරු බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර උදරයේ රැදී ඇති රන් මාලය පිටතට ගන්නා ලෙසයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හැටන් හිජිරාපුර පදිංචි අබ්දුල් මුතාෂ් මොහමඩ් අලි නම් වූ 33 හැවිරිදි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *