රැකියාවක් දෙන බව පවසා උස්බෙක් කාන්තාවක් මෙරටට ගෙන්වා ගණිකා වෘත්තියේ යෙදවූ ත්‍රිරෝද රථ රියැදුරෙකුට වසර 10ක සිරදඬුවමක්

රැකියාවක් ලබාදෙන බව පවසා ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් උස්බෙක් ජාතික කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා ලබාදීමේ චෝදනාවට වරදකරු වූ ත්‍රිරෝද රථ රියැදුරෙකුට කොළඹ මහාධිකරණය වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.

මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය විසින් ලෝරන්ස් නමැති විත්තිකරුට රු. 10,000ක දඩයක්ද නියම කර ඇත.

නඩුවට අනුව, ඔක්සානා කර්පෝවා නමැති එම උස්බෙක් ජාතික කාන්තාවට 2020 වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාවේ රැකියාවක් ලබාදෙන බවට තවත් උස්බෙක් ජාතික කාන්තාවක් වන “ජැස්මින්” නමැත්තියක් මාර්ගයෙන් යෝජනාවක් ලැබී තිබේ.

මාසිකව ඇමරිකානු ඩොලර් 1,500ක වැටුපක් සහිත රැකියාවක් හෝ දරුවන් රැකබලා ගැනීමේ රැකියාවක් ලබාදෙන බවට ඇයට පොරොන්දු වී ඇති බව අධිකරණයේදී අනාවරණය වී ඇත.

ඇය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමෙන් පසු ජැස්මින් සහ ඇගේ ශ්‍රී ලාංකික සැමියා වන ත්‍රිරෝද රථ රියැදුරු ලෝරන්ස් විසින් ඇයව භාරගෙන මීගමුවේ නිවසකට රැගෙන ගොස් තිබේ.

අනතුරුව ඇයට ලිංගික සේවා සැපයීමට බල කර ඇති බවත්, පසුව ඇය වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාසයක රඳවා සිටි බවත් නඩු විභාගයේදී හෙළි වී තිබේ.

ඇගේ විදේශ ගමන් බලපත්‍රයද රැගෙන තිබූ බවත්, ඇයට වෙනත් පුද්ගලයන් සමඟ සන්නිවේදනය කිරීමට තිබූ අවස්ථා සීමා කර තිබූ බවත් අධිකරණයේදී කරුණු අනාවරණය විය.

පසුව ඇය රහසිගතව සිය මව සමඟ සම්බන්ධ වී ඇති අතර, මව උස්බෙක් පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වී කාන්තාව මුදාගෙන ආරක්ෂිත නිවසක රඳවා තැබීමට කටයුතු කර ඇත.

කොළඹ හෝටලයකදී එම කාන්තාව ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා ලබාදීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 360A(1) වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

නඩු විභාගය අතරතුර, එම කාන්තාවගෙන් ලිංගික සේවා ලබාගත් පුද්ගලයෙකු විසින් ගෙවන ලද මුදලකින් කොටසක් ලෝරන්ස්ගේ පෞද්ගලික බැංකු ගිණුමට බැර කර ඇති බව දැක්වෙන බැංකු වාර්තාද පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඉදිරිපත් වූ සාක්ෂි අනුව පැමිණිල්ල විසින් චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව කොළඹ මහාධිකරණය තීරණය කළේය.

ඒ අනුව විත්තිකරුට වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රු. 10,000ක දඩයක් නියම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *