යුරෝපා සංගමයෙන් ලංකාවට යුරෝ මිලියන 10ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය (EU) අතර තිරසාර වෙළෙඳ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්, යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 10ක (යුරෝ කෝටියක) මූල්‍ය ප්‍රදානයක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් තීරණයේ දැක්වෙන්නේ, හරිත සංක්‍රාන්ති මුලපිරීම් (Green transition) සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන තිරසාර වෙළෙඳ පිළිවෙත් ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම ප්රදානය ලබාදීමට යුරෝපා සංගමය එකඟතාව පළ කර ඇති බවයි.
මීට අමතරව, මෙරට වෙළෙඳාමට අදාළ ආයතනික ධාරිතාව වර්ධනය කිරීම සහ යුරෝපා සංගම් වෙළෙඳපොළට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ප්රමිතීන් සපුරාලීමට ශ්‍රී ලංකාවට සහාය වීමද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් වසර හතරක (04) කාලසීමාවක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව, අදාළ යුරෝ මිලියන 10ක මූල්‍ය ප්රදානය ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර නිල ගිවිසුමකට අත්සන් තැබීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.




