මිනිස් ජාවාරම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්

මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ලබන වසර තුළ ක්‍රියාකාරී පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බළකාය විසින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා දෙයි.

මිනිස් ජාවාරම් මැඩලීම සඳහා විමර්ශන බලධාරීන් සහ බුද්ධි අංශ සමග සෘජු සම්බන්ධීකරණයෙන් වඩාත් ශක්තිමත් ආයතනික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා පසුගිය ජූලි මාසයේදී මෙම මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බළකාය පිහිටුවනු ලැබීය.

ඒ අනුව මේ වන විටත් මිනිස් වෙළෙදාම්, ජාවාරම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා දී ඇත.

අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුකූලව විශේෂයෙන්ම කාන්තාවන් සහ ළමුන් ජාවාරම් කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පනත සහ ආගමන විගමන පනත සංශෝදනය කිරීමටද පියවර ගෙන තිබේ.

මිනිස් ජාවාරම් සිදුවීම පිළිබඳ කඩිනමින් දැනුවත් කිරීම සඳහා මහජනතාවගේ සහ සියලු ආයතනවල සහාය අපේක්ෂා කරන බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *