මහ බැංකුවේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන බැංකුවලට එරෙහිව අදාළ නීති රීති යටතේ පියවර ගන්නවා

පවත්නා තත්ත්වයේ විශේෂත්වය සලකා එයින් දුෂ්කරතාවලට මුහුණ දී සිටින පහළ ස්ථරවල ව්‍යාපාර හා මහජනයා වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත්, දිගින් දිගට මේ යුතුකම් පැහැර හරින බැංකුවලට එරෙහිව අදාළ නීති රීති යටතේ කටයුතු කිරීමට මහ බැංකුවට සිදු නොවන පරිදි ක්‍රියා කරන සේ තමා එම බැංකු ආයතනවලින් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

කොරෝනා වෛරසයට විශ්වාසයෙන් මුහුණ දෙමුමහ බැංකු අධිපති

කොරෝනා වෛරසය හෙවත් COVID-19 ලොව පුරා පැතිරයාම හා පසුගිය මාසය තුළ එය ලංකාවට පැතිර ඒම පදනම් කොට ගෙන ඇතිව තිබෙන තත්ත්වයන් අතිශයින් නුහුරු, නුපුරුදු විධියේ., සාමාන්‍ය තත්ත්වයන්ගෙන් ඈත්වුණු අති විශේෂ තත්ත්වයන්.  දුෂ්කර හා අතිශයින් සංකීර්ණ ප්‍රශ්න මතු කර ඇති කාලයක්.  අසාමාන්‍ය තත්ත්වයන් යටතේ පවතින මෙකී දුෂ්කර ප්‍රශ්නවලට පිළිතුරු දීමට සිදුවන්නේ ද සාමාන්‍ය නොවන ආකාරයට සිතා මතා ක්‍රියා කිරීමෙනි.  මේ අනුව සෞඛ්‍ය ප්‍රශ්න, මානුෂීය හා සමාජීය ප්‍රශ්න, හදිසි අවස්ථා ප්‍රශ්න, මානව සුරක්ෂිතතා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න යනාදිය සම්බන්ධව ක්‍රියාත්මක වන මුළු ආයතනික පද්ධතියම මේ අවස්ථාවට උචිත ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්පාදනය කරමින්, ඒවා අත්හදා බලමින් හා අඩුපාඩු නිවැරදි කර ගනිමින් ක්‍රියාත්මක කරමින් සිටින කාලයක්.

මෙම අර්බුදකාරී තත්ත්වයන්හි වඩාත්ම කැපී පෙනෙන්නාවූ ත් ක්ෂණික හා හදිසි පිළියම් අවශ්‍ය වන්නාවූ ත් ප්‍රශ්න වනුයේ පුළුල් වශයෙන් මානවවාදී හා මානව ශුභසාධන ගණයට වැටෙන ප්‍රශ්නයි.  පැතිර යන වෛරස ප්‍රශ්නයට සහමුලින් යට නොවී, කෙටි කලකින් එයින් මිදීම සඳහා සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව එක්තරා නිරෝධායන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට ඇත.  රටේ සමහර කොටස්වල, විශේෂයෙන් ජනයා බහුලව වෙසෙන දිස්ත්‍රික්ක කිහිපයක, නොකඩවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, රටේ ඉතිරි දිස්ත්‍රික්කවල කඩින් කඩ ඇඳිරි නීති තත්ත්ව ක්‍රියාත්මක වෙයි.  සමාජ සත්වයකු හැටියට හුරු පුරුදු සමාජීය ජීවිත ගතකිරීමෙන් මිනිසා වළක්වා ඇත.  මෙම සමාජ දුරස්තකරණය, මිනිස් පැවැත්ම ම පිළිබඳ ප්‍රශ්න මතු කර ඇත.  මිනිසුනට රැකියාවලට යාමට අවසර නැත.  සමහර ආයතන වැසී යාම නිසා රැකියා නැතිව ගොස් ඇත.

එදිනෙදා යම් රැකියාවක් කොට ජීවිකාව සපයා ගත් අයට විශේෂ වශයෙනුත්, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැසීයාමෙන් හා ස්වයං-රැකියා නැතිවීමෙන් රැකියා අහිමි වූ සියලු දෙනාට සාමාන්‍ය වශයෙනුත් ජීවත්වීමට ආදායමක් නැති ඛේදනීය හා බියකරු තත්ත්වයකට මුහුණ දීමට සිදු ව ඇත.  අාදායමි නැති/අඩු අයට විශේෂයෙනුත්, මුදල් ළඟ ඇති අයත් ඇතුළුව අන් සියලු දෙනාට සාමාන්‍ය වශයෙනුත්, කෑම බීම සොයා ගැනීම ප්‍රශ්නයක් ව ඇත.  මෙකී නොකී සියලු ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාව විසඳුම් බලාපොරොත්තු වන්නේ මූලික වශයෙන් රජයෙනි, ආණ්ඩුවෙනි.  එහි ලා ආණ්ඩුව, පෞද්ගලික අංශයත්, වෙළෙඳපොළවලුත් උදව් කර ගෙන මෙම ප්‍රශ්නවලට විසඳුම් ලබා දී සාමාන්‍ය ජනයාගේ බර ලිහිල් කර දීමටත්, අර්බුදය කෙළවර වූ පසු ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් කිරීමටත් විවිධ ක්‍රියාමාර්ග ගත යුතු ව තිබේ.  ශ්‍රී ලංකා රජය ලෝකයේ අපට වඩා දියුණු යැයි කියා ගන්නා රටවලට ද වඩා හොඳින් මේ කර්තව්‍යයන් වගකීමෙන් යුතු ව බාර ගෙන, ලෝක සමාජයේ ප්‍රසාදයටත් ලක්වෙමින් ක්‍රියා කරමින් ඇත.  රජයේ දේශපාලන බලධාරීනුත්, පරිපාලන, පොලිස්, හමුදා යනාදී රාජ්‍ය සේවාත්, ශ්‍රී ලංකා මහ බැංකුවත්, රාජ්‍ය අංශයේ අවශේෂ ආයතන පද්ධතියත් මෙහි දී නායකත්වය ගෙන කටයුතු කරමින් සිටී.

 

මහ බැංකු ප්‍රධානියා හැටියට පසුගිය දිනවල මම මේ සම්බන්ධයෙන් මහ බැංකුව පැත්තෙන් ගත් ක්‍රියාමාර්ග සාරාංශ කරන්නම්.

  • බැංකු ණය ලබා කටයුතු කරමින් සිටි ව්‍යාපාරිකයන් මෙන්ම පුද්ගලික ණය ගත් අය, විශේෂයෙන් කුඩා හා මධ්‍යම තරමේ ව්‍යාපාරිකයන් වෙනුවෙන්, ණය වාරික ආපසු ගෙවීම්, අදාළ කාලය සඳහා නැවැත්වීම (moratorium)
  • අලුත් වැඩ ප්‍රාග්ධන (working capital) ණය ව්‍යාපාරිකයන්ට – 4% පොලියට –

මහ බැංකු ප්‍රති මූල්‍යන ක්‍රම යටතේ ලබා දීමට කටයුතු කිරීම

  • වෛරස් ප්‍රශ්නය නිසා පීඩාවට පත් විවිධ කොටස්වලට පිහිට වීම අරභයා රජය යෝජනා කොට ක්‍රියාත්මක කරන විවිධ වැඩ සටහන් සඳහා ආණ්ඩුවට භාණ්ඩාගාර බිල්පත්/සුරැකුම් පත් යටතේ මුදල් ලබා දීම – බිලියන 100 ක් පමණ අවස්ථා දෙකකදී දැනට ලබා දී ඇත
  • පොලී අඩු කිරීම, සංචිත අනුපාත අඩු කිරීම ආදී ක්‍රම මගින් ජනයාට බැංකු ණය පහසුකම් වැඩි කර දීමට බැංකු හා මූල්‍ය අායතනවලට පහසුකම් සලසා දීම
  • මේ කාලය තුළ, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට අනුව මහජනයා සඳහා අවම බැංකු සේවා සපයා දීම සදහා අවශ්‍ය බොහෝ කටයුතු බැංකු සමඟ එකතු වී ක්රියාත්මක කිරීම.
  • ආනයන සීමා කිරීම හරහා, සිදු වෙතැයි අපේක්ෂා කරන ගෙවුම් ශේෂය හා විදේශීය වත්කම් පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදීම හා එමගින් ආනයන වෙනුවට දේශීය නිෂ්පාදන කටයුතු ප්‍රවර්ධනය දිරි ගැන්වීම.
  • වාණිජ බැංකු හා වෙනත් මූල්‍ය ව්‍යාපාර හරහා මහජනයාට පිහිට වීම හා ව්‍යාපාරවලට උදව් වීම සඳහා පොලී අනුපාතික පහළ දැමීමටත් බැංකු ක්‍රමයේ ද්‍රවශීලතා තත්ත්වයන් වැඩි දියුණු කිරීමටත් කටයුතු කිරීම.
  • මහ බැංකුව බැංකු පරීක්ෂණ කටයුතුවලදී අදාළ කර ගනු ලබන යම් යම් කොන්දේසි ලිහිල් කොට බැංකුවලට තමන් සතු වත්කම් පදනම් කොට දිය හැකි ණය ප්‍රමාණ ඉහළ නැංවීම

[මහ බැංකුව පසුගිය සති කිහිපය තුළ ගත් සියලු පියවර පිළිබඳ විස්තර කරමින් 2020 සඳහා නිකුත් කළ මහ බැංකු චක්‍රෙල්ඛ 4 ක් මහ බැංකු වෙබ් අඩවියෙහි ඇත.]

මහජනයා ගනුදෙනු කරන්නේ වාණිජ බැංකු, ඉතුරුම් බැංකු, මුදල් සමාගම් ආදිය සමගයි.  එම ආයතනවලට දෙන උපදෙස් හා නිර්දේශ හරහායි සාමාන්‍යයෙන් මහ බැංකුව සිය ප්රතිපත්ති ක්රියාත්මක කරන්නේ.  පසුගිය කාලයෙහි අපි ලෝකයේම මහ බැංකුවලට හුරුපුරුදු විධිවලටම ක්‍රියා කරන්නට යන්නේ නැතුව, පවත්නා විශේෂ තත්ත්වයට ගැලපෙන පරිදි කටයුතු කර තිබෙනවා.  මහ බැංකුව හා මහජනයා ගනුදෙනු කරන මූල්‍ය ආයතන අතර සම්බන්ධතා සම්බන්ධයෙන් ලොව පුරාම පවත්නා එක්තරා ප්‍රශ්නයක් තමයි මහ බැංකුව කරන දේ අනිකුත් මූල්‍ය ආයතනවලට සන්නිවේදනය වී, මහජනයාට දැනෙන පරිදි මහ බැංකුව කියන දේ ක්‍රියාත්මක කිරීමට යන කාල පමාව (transmission delays).  මෙම ප්‍රශ්නය අපේ රටේත් තිබෙනවා.  ඒ පිළිබඳ පැමිණිලි චෝදනා මේ දිනවල බොහෝයි.  මා බැංකුවලින් ඉල්ලා සිටින්නේ, පවත්නා තත්ත්වයේ විශේෂත්වය සලකා එයින් දුෂ්කරතාවලට මුහුණ දී සිටින පහළ ස්ථරවල ව්‍යාපාර හා මහජනයා වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරන ලෙසයි.  දිගින් දිගට මේ යුතුකම් පැහැර හරින බැංකුවලට එරෙහිව අදාළ නීති රීති යටතේ කටයුතු කිරීමට මහ බැංකුවට සිදු නොවන පරිදි ක්‍රියා කරන සේ මා එම බැංකු ආයතනවලින් ඉල්ලා සිටිනවා.

රටේ අවශේෂ රාජ්‍ය ආයතන සමග, මහ බැංකුව ගන්නා ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග හුදෙක් වර්තමාන තත්ත්වයන්ම අරමුණු කොට ගන්නා ක්‍රියාමාර්ග නොවෙයි.  කොරෝනා වෛරසයට පසුව එන කාලය ගැන අප නිතර කල්පනා කරමිනුයි ක්‍රියා කරන්නේ.  මෙවැනි දුෂ්කර කාල විටින් විට එනවා.  ඒවා ස්ථිරව දිගටම පවත්නේ නැහැ.  ඒවා කාලයත් සමග (මෙම කොරෝනා වෛරස් තත්ත්වය නම් මාස 2 කින් පමණ) ගෙවී යනු ඇත.  එහෙත් මිනිසුන් හා ආයතන දිගටම ක්‍රියා කළ යුතුයි.  ඒ ගැන අපි අපේ ප්‍රතිපත්තිවලදී නිතර සිතා මතායි ක්‍රියා කරන්නේ.

අතීතයේ අප දැක ඇති පරිදි, අසා ඇති පරිදි, එසේම ඉතිහාසයේ කියවා ඇති පරිදි අර්බුද තත්ත්වයන්ගෙන් ගොඩ එන ජනයා සාමාන්‍යයෙන් දැඩි ජවයකින් හා වේගයකින් සාමාන්‍ය තත්ත්වය නැවත ඒමත් සමග ක්‍රියාත්මක වෙනවා.  ලංකාවේද අපි මෙය නිතර දැක තියෙනවා.  ඒ බව දැන දැනයි අපි ආර්ථිකය හා සමාජයත්, විශේෂයෙන්ම එහි සිටින ව්‍යාපාර පන්තියත් වැඩ කරන මිනිසුනුත් මෙම අර්බුදයෙන් ධෛර්යය සුන් කර ගත් බලාෙපාෙරාත්තු විරහිත තත්ත්වයකට පත් වන්නට දෙන්නේ නැතිව ඔවුන් උස්සා තැබීමට කටයුතු කරන්නේ.  ඒ නිසා COVID-19 ට පසු තත්ත්වයන් හා ඒ පිළිබඳව කළ යුතු දේ අප සිත්හි නිතරම පවතිනවා.  ඉදිරිය ගැන විශාල විශ්වාසයක් පවතිනවා.  මෙහිදී මට අවශ්‍ය වන්නේ රටේ මුළු මූල්‍ය පද්ධතිය ම මෙම විශ්වාසය තුළට ගෙන, එකමුතුව, රට පවත්නා තත්ත්වයෙන් ගොඩ ගෙන ඉහළ සංවර්ධන තලයකට නොබෝ දිනකින් ගෙන ඒමටයි.  ඒ පිළිබඳ ප්‍රතිපත්ති අප සතුව තිබෙන බවත්, ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි බවට විශ්වාසයක් පවතින බවත් මා තරයේ කීමට කැමැතියි.

මා හැමෝටම අවධාරණයෙන් කීමට කැමතියි, මහ බැංකුව අවශේෂ රාජ්‍ය අධිකාරීන් සමග සහයෝගීව, ආර්ථිකය හා මූල්‍ය ක්‍රම පිළිබඳ සෙවිල්ලෙන් පරීක්ෂාකාරීව සිටින බව.  මූල්‍ය වෙළෙඳපොළ හා සාර්ව ආර්ථික තත්ත්වයන් පරිණාමය වන අන්දම ගැන අප පරීක්ෂාවෙන් ඉන්නේ.  මගේ අවසාන පණිවුඩය අභියෝග හා දුෂ්කරතා මැද්දේ වුවත් මහ බැංකුව සිටිනුයේ එක්තරා ශුභවාදී දර්ශනයක බවයි.  සාර්ව ආර්ථික කාරණා පහසුවෙන් හැඩ ගන්වා ගෙන අපට මෙම අර්බුද තත්ත්වයට පසු කාලය මෙහෙයවා ගත හැකියි.  රටේ උද්ධමන තත්ත්වයන්හි කලබල වීමට තරම් පසුබිමක් නැහැ.  ක්‍රමයෙන් විසඳා ගත හැකි ප්‍රශ්න ඇතත් මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වය පිළිබඳ බරපතල ප්‍රශ්න නැහැ.  COVID-19 අප පසු කර යනු ඇත.  ඉන් පසු ව ඒන කාලයට ධෛර්යයෙන් හා විශ්වාසයෙන් මුහුණ දෙමු යි යන්නයි මගේ පණිවුඩය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *