මධ්‍යම බැංකු වාර්තාවේ උතුරේ ජනගහන දත්ත ගැන සුමන්තිරන්ගෙන් ප්‍රශ්නයක්

මධ්‍යම බැංකු වාර්තාවක පළ කර ඇති ජනගහන දත්ත සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රශ්න කර තිබේ. විශේෂයෙන්ම උතුරු පළාතේ ජනගහනය සම්බන්ධයෙන් වාර්තාවේ දැක්වෙන සංඛ්‍යාව සහ නිල සංගණන දත්ත අතර විශාල පරතරයක් පවතින බව ඔහු පෙන්වා දෙයි.

“මධ්‍යම බැංකු වාර්තාවේ උතුරු පළාත සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වැරදි දත්තයක් දක්වා තිබෙනවා. උතුරේ ජනගහනය 557,000ක් ලෙස සඳහන් කර තිබුණත්, සැබෑ සංඛ්‍යාව ඊට දෙගුණයකටත් වඩා වැඩියි,” යනුවෙන් සුමන්තිරන් මහතා ‘X’ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

සුමන්තිරන් මහතා බෙදාගෙන ඇති “Country Profile – 2025” වගුවේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 21.756ක් ලෙසත්, උතුරු පළාතේ ජනගහනය 557,000ක් ලෙසත් දක්වා තිබේ.

එම වගුවට අනුව බස්නාහිර පළාතේ ජනගහනය මිලියන 6.104ක්, මධ්‍යම පළාතේ මිලියන 2.712ක්, දකුණු පළාතේ මිලියන 2.603ක්, නැගෙනහිර පළාතේ මිලියන 1.784ක්, වයඹ පළාතේ මිලියන 2.583ක්, උතුරු මැද පළාතේ මිලියන 1.406ක්, ඌව පළාතේ මිලියන 1.401ක් සහ සබරගමුව පළාතේ මිලියන 2.012ක් ලෙස ජනගහනය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, ජන හා නිවාස සංගණනය 2024හි අවසන් නිල දත්ත අනුව උතුරු පළාතේ ජනගහනය 1,150,148ක් වන අතර එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 5.3කි.

එම සංගණන දත්ත අනුව යාපනය දිස්ත්‍රික්කයේ ජනගහනය 594,751ක්, මන්නාරමේ 123,756ක්, වවුනියාවේ 172,312ක්, මුලතිව්හි 122,619ක් සහ කිලිනොච්චියේ 136,710ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අනුව මධ්‍යම බැංකු වාර්තාවේ සඳහන් 557,000ක සංඛ්‍යාව, 2024 ජන හා නිවාස සංගණනයෙන් වාර්තා කර ඇති උතුරු පළාතේ ජනගහනයෙන් අඩකටත් වඩා අඩු සංඛ්‍යාවක් වේ.

මධ්‍යම බැංකුව 2025 වසරේ “Sri Lanka Socio-Economic Data” ප්‍රකාශනය යටතේ “Country Profile” ඇතුළු සමාජ හා ආර්ථික දත්ත ඇතුළත් වාර්තාවක් නිකුත් කර තිබූ අතර, 2026 වසරේ නවතම සංස්කරණයද සැප්තැම්බර් 28 වැනිදා නිකුත් කර තිබේ.

https://x.com/MASumanthiran/status/2104831272925184037

Leave a Reply

Your email address will not be published. Required fields are marked *