බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුට 27 දක්වා රැඳවුම් නියෝගයක්

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.

අදාළ සැකකරුව අද දින දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී මේ මස 27වන දින දක්වා සැකකරු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබාගෙන ඇත.

අකුරැස්ස, බංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී තවත් වැදගත් කරුණු රැසක් අනාවරණ වී තිබේ.

එම පුද්ගලයා මෙම ප්‍රහාරය මෙහෙයවූ ප්‍රධානියා බවට සැකකෙරෙන අතර අප ඊයේ රට හමුවේ අනාවරණ කළ සීසීටීවී දර්ශන පෙළෙහි හෝටලයකට ගොස් ආහාර ලබාගන්නේද මොහු බව පොලීසිය සඳහන් කළේය.

සමන් කුමාර නම් 55 හැවිරිදි  සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු වලට අනුව යතුරුපැදියක් හා වෑන් රථයක් ද පොලීසිය සොයාගෙන ඇත.

ඒ මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ හක්මන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

පොලීසිය සැකකරන්නේ, ප්‍රහාරය සඳහා යොදාගත් ටී 56 වර්ගයේ ගිනි අවි දෙක බැහැර කිරීමට අදාළ යතුරුපැදිය ‍යොදාගෙන ඇති බවය.

අපරාධයෙන් පසුව සැකකරුවන්ට සැඟවී ගමන් කිරීමට අදාළ වෑන් රථය සූදානම් කර තිබූ බව පොලීසිය සැකකරයි.

එමෙන්ම වෙඩික්කරුවන් පැමිණි ජීප් රථයේ සිටි එක් වෙඩික්කරුවෙක් අකුරැස්ස ප්‍රදේශයෙන් බස්සවා ඇති අතර තවත් වෙඩික්කරුවෙකු කඹුරුපිටිය ප්‍රදේශයෙන් බස්සවා ඇති බවට පොලීසිය කරුණු අනාවරණ කරගෙන ඇත.

ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන් ඩුබායිහි සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු විසින් අනෙක් වෙඩික්කරුවන් තමාට සම්බන්ධ කළ බවත්, තංගල්ල අධිකරණය අසලදී  ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම්කර තිබූ බවත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ කර තිබේ.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ රෝයල් බීච් සමන් ඇතුළු කණ්ඩායම පිළිබඳව තවත් අයෙකු ඝාතකයන්ට ජංගම දුරකථනයකින් තොරතුරු සපයා තිබීම හේතුවෙන් ජංගම දුරකථන විශ්ලේෂණයක් සිදුකිරීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරියෙකු සඳහන් කළේය.

එමෙන්ම සැකකරුගේ බැංකු ගිණුම්ද පරීක්ෂා කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *