පළමු විස්සයි විස්සේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශය සමග පැවති පළමු පන්දුවාර 20 තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණි.

ෂිලේට් හිදි පැවති තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 3කට ලකුණු 206ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි.

කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම තුන්වැනි කඩුල්ලට ලකුණු 96ක් සහ චරිත් අසලංක සමගින් සදීර සමරවික්‍රම සිවුවන කඩුල්ලට නොබිඳුණු ලකුණු 73ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස් කළ අතර, අවසන් පන්දුවාර කිහිපයේදි වේගවත් ඉනිමක් දියත් කළ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 61ක් සහ චරිත් අසලංක නොදැවී ලකුණු 44ක් රැස් කළේය.

ලකුණු 207ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 68ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය.

මහමුදුල්ලා ලකුණු 54ක් සහ ජේකර් අලි ලකුණු 68ක් රැස් කළද එය බංග්ලාදේශ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

මෙම තරගයේදී මතීෂ පතිරණ දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ලකුණු 19ක් ලබාදීම කැපී පෙණුනි.

බංග්ලාදේශ කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ලකුණු 12ක් ලබා ගත යුතුව තිබූ අතර එම පන්දුවාරය ක්‍රියාත්මක කළ දසුන් ශානක පළමු පන්දුවේදී සහ තුන්වැනි පන්දුවේදී කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකාවට ජය මාවත විවර කර දුන්නේ අවසන් පන්දුවාරය ලකුණු 8කට සීමා කරමිනි.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමු 20-20 තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කළ අතර පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක හා බිනුර ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් දවා ගත්තේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *