පවතින රාජ්‍ය සේවය ගැන මිනිස්සු සතුටු නෑ

පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයේදී  පැවසීය.

රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදීය.

රාජ්‍ය සේවය පුරවැසියාට අයිතියක් සහ රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙස ශක්තිමත් කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ලබන ජූනි මාසය වන විට රාජ්‍ය සේවයේ  නිවැරදි  දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව කී ජනාධිපතිවරයා රාජ්‍ය සේවය සතු  දැනට තිබෙන දත්ත ප්‍රමාණයේ විශාල වියවුලක් පවතින බැවින් ඒවා මත පදනම්ව නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවකයින් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් මෙන්ම විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අදාළ යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා මෙහිදී අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *