තේ, කුළුබඩු, මුහුදු ආහාර, සැකසූ ආහාර සහ පාන වර්ග ඇතුළු ප්‍රධාන අපනයන ක්ෂේත්‍රවල යුරෝපා සංගම් වෙළෙඳපොළ ප්‍රවේශයට බලපෑම් කළ හැකි නව ඇසුරුම් අවශ්‍යතා සඳහා කඩිනමින් සූදානම් වන ලෙස ශ්‍රී ලංකා අපනයනකරුවන්ට උපදෙස් ලබා දී තිබේ.
යුරෝපා සංගමයේ ඇසුරුම් සහ ඇසුරුම් අපද්‍රව්‍ය පිළිබඳ රෙගුලාසිය (PPWR) 2025 පෙබරවාරි මාසයේදී බලාත්මක වූ අතර, එහි ප්‍රධාන අවශ්‍යතා 2026 අගෝස්තු 12 සිට සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වේ.
මෙම රෙගුලාසි යටතේ ඇසුරුම්වල ප්‍රතිචක්‍රීකරණ හැකියාව, ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් අන්තර්ගතය, නැවත භාවිතය, ඒකාකෘතික ලේබල්කරණය, නිෂ්පාදකයාගේ දීර්ඝකාලීන වගකීම (EPR) සහ නිෂ්පාදන සොයාගැනීමේ හැකියාව සම්බන්ධයෙන් නව අවශ්‍යතා හඳුන්වා දී තිබේ.
මෙම නීති යුරෝපා සංගම් වෙළෙඳපොළට ඉදිරිපත් කරන සියලුම ඇසුරුම් සඳහා අදාළ වන අතර, ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට අපනයනය කරන නිෂ්පාදනද ඊට ඇතුළත් වේ. අපනයන කර්මාන්ත සඳහා ඇසුරුම් නිෂ්පාදනය කරන මෙරට ඇසුරුම් නිෂ්පාදකයන්ටද මෙම නව අවශ්‍යතා බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව, ව්‍යාපාරිකයන්ට තම ඇසුරුම් සැලසුම්, භාවිත කරන ද්‍රව්‍ය, අමුද්‍රව්‍ය ලබාගැනීමේ ක්‍රමවේද, සැපයුම්කරුවන්ගේ තොරතුරු සොයාගැනීම, සහතිකකරණය සහ තිරසරභාවය සම්බන්ධ වාර්තාකරණ ක්‍රියාවලීන් යළි සමාලෝචනය කිරීමට සිදුවනු ඇත.
ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ට මේ සඳහා සූදානම් වීමට සහාය වීම සඳහා යුරෝපා සංගමයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක CIRCULAR – ආහාර අංශයේ චක්‍රීය ආර්ථික ව්‍යාපෘතිය යටතේ දින දෙකක සම්මන්ත්‍රණයක් ජූලි 13 සහ 14 යන දිනවල කොළඹදී පවත්වා තිබේ.
මෙම සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ආයතන නියෝජිතයන් 100කට වැඩි පිරිසක් සහභාගී වූ අතර, PPWR හි නියාමන සහ තාක්ෂණික අවශ්‍යතා මෙන්ම ඒවාට අනුකූල වීම සඳහා සමාගම් විසින් ගත යුතු පියවර පිළිබඳව දැනුවත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ සහයෝගිතා අංශ ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙස්සේ සඳහන් කළේ, ඇසුරුම් සහ ඇසුරුම් අපද්‍රව්‍ය පිළිබඳ රෙගුලාසිය ක්‍රියාත්මක වීමත් සමඟ ව්‍යාපාරිකයන්ට කල්තියා සූදානම් වීම අත්‍යවශ්‍ය වන බවයි.
සම්මන්ත්‍රණයේදී රෙගුලාසියේ ප්‍රධාන ක්ෂේත්‍ර පහක් වන ප්‍රතිචක්‍රීකරණ හැකියාව, ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍ය භාවිතය, නැවත භාවිතය, ඒකාකෘතික ලේබල්කරණය සහ අපද්‍රව්‍ය වැළැක්වීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.
එමෙන්ම, ආහාර සමඟ සම්බන්ධ වන ඇසුරුම්වල PFAS (per- and polyfluoroalkyl substances) භාවිතය සම්බන්ධ සීමා 2026 අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වීම සහ තේ බෑග් ඇතුළු ඇතැම් ඇසුරුම් වර්ග 2028 පෙබරවාරි මාසයේ සිට කාර්මිකව කොම්පෝස්ට් කළ හැකි ආකාරයෙන් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද සහභාගී වූවන් දැනුවත් කර ඇත.
ඇසුරුම් ප්‍රතිනිර්මාණය, තිරසර ද්‍රව්‍ය තෝරාගැනීම, සැපයුම්කරුවන් පිළිබඳ නිසි පරීක්ෂාව, සහතිකකරණය, සොයාගැනීමේ හැකියාව සහ තාක්ෂණික ලේඛන සකස් කිරීම පිළිබඳවද වැඩසටහනේදී අවධානය යොමු කර තිබේ.
CIRCULAR ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු මහමුද් ගබල්ලා සඳහන් කළේ තිරසර ඇසුරුම්කරණය මේ වන විට පරිසර හිතකාමී අරමුණක් පමණක් නොව, ව්‍යාපාරික අවශ්‍යතාවක් බවටද පත්වෙමින් ඇති බවයි.
ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනයේ සභාපති නිශාන් පෙරේරා ද අවධාරණය කළේ රටේ අපනයන කේන්ද්‍ර කරගත් ආහාර සහ ඇසුරුම් කර්මාන්ත සඳහා යුරෝපා සංගමයේ නව රෙගුලාසි පිළිබඳ අවබෝධයක් ලබාගැනීම අතිශය වැදගත් වන බවයි.
මෙම සම්මන්ත්‍රණය Expertise France, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) යන ආයතන එක්ව ක්‍රියාත්මක කරන CIRCULAR ව්‍යාපෘතිය හරහා යුරෝපා සංගමයේ සහාය ඇතිව සංවිධානය කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව චක්‍රීය ආර්ථිකයක් වෙත පරිවර්තනය කිරීම, විශේෂයෙන් ආහාර නාස්තිය හා ආහාර අලාභය අවම කිරීම සහ එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් නිසා ඇතිවන දූෂණයට විසඳුම් ලබාදීම සඳහා සහාය වීමයි.


