SLT-MOBITEL සමූහයේ 2026 දෙවැනි කාර්තුවේ ආදායම 11.1%කින් ඉහළ ගොස් ඇති අතර, බදු පසු ලාභය 54.4%කින් වර්ධනය වී රුපියල් බිලියන 6.6 ඉක්මවා ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.
කොළඹදී පැවති SLT-MOBITEL සමූහයේ වසරේ පළමු අර්ධයේ මූල්‍ය ප්‍රතිඵල නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ගෝලීය ආර්ථික අභියෝග සහ ඉහළ යන බලශක්ති පිරිවැය හමුවේ වුවද මෙම කාර්යසාධනය මගින් SLT-MOBITEL සමූහයේ ස්ථාවරත්වය සහ ඵලදායී කළමනාකරණය පෙන්නුම් කරන බවයි.
2025 වසරේදී බදු සහ අනෙකුත් රාජ්‍ය අයකිරීම් හරහා SLT-MOBITEL සමූහය රජයේ භාණ්ඩාගාරයට රුපියල් බිලියන 33.7ක් දායක වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ ඩිජිටල් පරතරය අවම කිරීම සඳහා SLT-MOBITEL ලබාදෙන දායකත්වය පිළිබඳවද ඔහු අවධාරණය කළේය. ඒ යටතේ දිවයින පුරා ක්‍රියාත්මක ෆයිබර් ජාලය, රජයේ ඩිජිටල් යටිතල පහසුකම්, SEA-ME-WE 6 සබ්මැරීන් කේබලය සහ පාසල් ෆයිබර්කරණ ව්‍යාපෘතිය ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.
මේ අතර, 2026 සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 4 දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා AI සතිය 2026 (Sri Lanka AI Week 2026) මගින් ශ්‍රී ලංකාව කෘත්‍රිම බුද්ධි තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ රටේ උත්සාහයන්ට සහාය වනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය.


