කිලිනොච්චියේ එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ රජය ප්‍රතික්ෂේප කර තිබේ. එම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ස්ථානය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කන්නගිපුරම්, මුක්කන්පම් ප්‍රදේශයේ පිහිටා ඇති බවයි. එම ඉඩම 1919 වසරේදී ගැසට් මගින් වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබූ බවද ඔහු පැවසීය.
මෙම සිද්ධියට අදාළව රජයේ ඉඩම් අනවසරයෙන් වගා කිරීම සහ ඉදිකිරීම් සිදුකිරීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති අතර, මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 වසරේ සිට එම ස්ථානයේ වන විනාශය සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධ සිදුවීම් වන සංරක්ෂණ බලධාරීන් වෙත වාර්තා කර තිබූ බවද ඔහු පැවසීය.
මෙම ස්ථානයේ සිදුකළ බව කියන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ත්‍යාගරාසා කුලදීපන් නමැති පුද්ගලයෙකුට එරෙහිව නඩු 7ක් පවරා ඇති බවද ජයතිස්ස මහතා සඳහන් කළේය.
මුලින් අක්කර 10ක භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කර තිබූ අතර පසුව එය අක්කර 20ක් දක්වා පුළුල් කර කෝමාරිකා සහ එළවළු වගා කර ඇති බවද ඔහු පැවසීය.
එම ස්ථානයේ ගම්වාසීන්ට රැකියා ලබාදෙමින් ඇඟලුම් නිෂ්පාදන කටයුතු සිදුකළ තෙමහල් ගොඩනැගිල්ලක්ද ඉදිකර තිබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම පුද්ගලයාට ඉඩමෙන් ඉවත්වන ලෙස කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය මෙම වසරේ පෙබරවාරි මාසයේදී නියෝගයක් ලබාදී තිබුණද, එම නියෝගය ක්‍රියාත්මක කර නොමැති බවට අමාත්‍යවරයා චෝදනා කළේය. එමෙන්ම බර යන්ත්‍රෝපකරණ භාවිත කරමින් වැලි කැණීම් ඇතුළු කටයුතු තවදුරටත් සිදුකර ඇති බවද ඔහු පැවසීය.
අමාත්‍යවරයා අවධාරණය කළේ මෙම සිද්ධිය එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් පවත්වාගෙන යාම සම්බන්ධ කාරණයක් නොව, රජයේ දේපළක් අනවසරයෙන් අත්පත් කර ගැනීම, අනවසර ඉදිකිරීම්, වගා කටයුතු සහ වැලි කැණීම් සම්බන්ධ චෝදනා පිළිබඳ කාරණයක් බවයි.
මෙම කටයුතු සඳහා ප්‍රදේශයේ දෙමළ දේශපාලනඥයන්ගේ සහාය ලැබී තිබේදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ජයතිස්ස මහතා පැවසුවේ රටේ විවිධ ප්‍රදේශවල රජයේ ඉඩම් සම්බන්ධයෙන් මෙවැනි අනවසර ක්‍රියා පිළිබඳ පැමිණිලි වාර්තා වන බවයි.
එබැවින් එවැනි සිද්ධීන් ජාතිවාදී කෝණයකින් නොව, චෝදනා එල්ල වී ඇති නීති විරෝධී ක්‍රියාකාරකම් පදනම් කරගෙන විමර්ශනය කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.


