දේශපාලකයන්ට ක්‍රීඩා සංගම් නිලතල තහනම් කරයි

කිසිම ක්‍රීඩා සංගමයක නිලතල සඳහා මින් ඉදිරියට ප්‍රාදේශීය සභා,පළාත්  සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මැති ඇමතිවරුන්ට ඉදිරිපත් විය නොහැකි බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී ජාතික රාජ්‍ය සභාවේ ක්‍රීඩා පනත යටතේ නියෝග සම්මත වීමෙන් පසුව ක්‍රීඩා සංගම් පරිපාලනය සඳහා ඉහත දේශපාලකයන්ට ඉදිරිපත් වීමට නොහැකි බව කී මන්ත්‍රීවරයා ක්‍රීඩා සංගම් නිලවරණ සඳහා නාමයෝජනා දෙන්නවත් ඔවුන්ට හැකියාවක් නොමැති වන බව සඳහන් කළේය.

එමෙන්ම නව සංශෝධන යටතේ  මින් ඉදිරියට කිසිම ක්‍රීඩා සංගමයක නිල තලවල වසර අටකට වඩා බහිරවයෝ වගේ රැඳී ඉන්නට නොහැකි බවද මන්ත්‍රීවරයා කීය. “මින් පසුව අප දේශපාලනයෙන් තොර ක්‍රීඩාවක් ඉදිරියට ගෙන යනවා.කිසිම සංගමයක් සම්බන්ධයෙන් අනවශ්‍ය වෛරයක් අපට නැහැ.ඒ වගේම අනවශ්‍ය ලබැදියාවක්ද අපට නැහැ .

බිඳ වැටුණු ක්‍රීඩා යළි ඇරඹීම සඳහා වන වැඩ පිළිවෙල අප ක්‍රියාත්මක කරමින් සිටිනවා.අපට දේශපාලනයක් තිබුණත් ක්‍රීඩා සංගම් දේශපාලනීකරණය කරන්නේ නැහැ.සියලු ක්‍රීඩා සංගම් දේශපාලනයෙන් මුදවා ගැනීම සඳහා වන සංශෝධන අප ඉදිරිපත් කරනවා” යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *