බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාව නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ ඥානසාර හිමියන්ට 2018 වසරේදී අභියාචනාධිකරණය විසින් වසර හයක සිරදඬුවමක් නියම කර තිබිණි.
කෙසේ වෙතත්, පසුව එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමෙන් අනතුරුව උන්වහන්සේ සිරදඬුවමින් නිදහස් කෙරිණි.
එම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව අවලංගු බවට තීන්දු කර තිබේ.


