චීනයේ විශ්වාසය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ස්ථාවර නායකත්වය සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සාමූහික සහයෝගය යටතේ ආපදා තත්වයෙන් ගොඩඒමස සඳහා ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා එක්ව සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි චීනය විශ්වාස කරන බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එහිදී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් වලින් විනාශ වූ නිවාස නුදුරු අනාගතයේදී ඉතාමත් ඉක්මණින් නැවත ගොඩනගා ගැනීමට හැකියාව ඇතැයි චීනය විශ්වාස කරන බව තානාපති කාර්යාලය පැවැසුවේය.

දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් මෙරටට විශාල ජීවිත හා දේපළ හානියක් සිදුව තිබෙන බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

ආපදා සහන සැපයීමේ ක්‍රියාවලියට සහාය ලබාදීමට චීන රතු කුරුස සංවිධානය ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බවත් චීනයේ සහාය මේ වනවිට ශ්‍රී ලංකාවට ළඟා වෙමින් පවතින බවත් තානාපති කාර්යාලය සඳහන් කළේය.

චීන වාණිජ මණ්ඩලය සහ විදේශයන්හි සිටින චීන ජාතිකයන්ගේ සංගමය පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීම සඳහා ආධාර එකතු කිරීමේ මුල පිරීමක් ආරම්භ කර ඇති බවත් එම මුලපිරීම මේ වනවිට රුපියල් කෝටියකට වැඩි මුදලක් එකතු කර ඇති බවත් චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *