එන්ගලන්තයේ තහනම් ලෙස වීථි වල සචාරය කළ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා මෙරටට

එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් තිදෙනා අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණ තිබේ.

එලෙස යළි දිවයිනට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යන අයයි.

ඔවුන් දහවල් 1.15ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම ක්‍රීඩකයින් තිදෙනා එංගලන්ත තරග සංචාරය අතරතුර ජෛව ආරක්ෂණ බුබුල උල්ලංඝනය කරමින් එරට විථීවල සැරිසරන ආකාරය දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුණි.

ඒ අනුව ඔවුන්ට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමටත් ඔවුන්ව වහාම නැවත මෙරටට කැඳවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කණ්ඩායමේ කළමනාකරු විසින් ඉදිරිපත් කළ මූලික වාර්තාවක් පදනම් කරගෙන ක්‍රීඩකයින් ව නැවත ගෙන්වීමට තීරණය කළ බව එම නිවේදනයේ දැක්විය.

අදාළ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව, දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට මීගමුව ප්‍රදේශයේ හෝටලයක් වෙත යොමුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *