එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිහිටි ප්‍රදේශයට ආරක්ෂාව දෙන ලෙස හමුදාපතිට නියෝගයක්

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු 7 දෙනෙකු සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනතුරට පත් නෞකාවේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කළ සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන හෙට්ටිආරච්චි ඇතුළු 07 දෙනෙකු සැකකරුවන් වශයෙන් නම් කර ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන්නැයි ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීමට විරෝධය පළ කළ අදාළ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන් තුන්දෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මෙම නඩුකරය විභාගවීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් එය මහාධිකරණය විසින් සිදුකළ යුතු කටයුත්තක් බවට පෙන්වා දී තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙම සැකකරුවන් අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතිසි නිකුත් කිරීමට තමන්ට අධිකරණ බලයක් නොමැති බව තීන්දු කරමින් එම ඉල්ලීම ඉවත දැමීය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගත් අතිරේක මහෙස්ත්‍රාත්වරිය අනතුරට පත් වී තිබෙන නෞකාව තිබෙන ප්‍රදේශයට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙස නාවික හමුදාපතිවරයාට නියෝග කළේය.

එමෙන්ම අදාළ අනතුර සිදුවූ වකවානුවේ නෞකාවේ කපිතාන්වරයා සහ ලාංකික නැව් නියෝජිත සමාගම අතර හුවමාරු වූ ඊමේල් පණිවිඩ පිළිබඳ පරීක්ෂා කිරීමට එම ඊමේල් දත්ත ගබඩාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසද අධිකරණය අදාළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකරුවන් වශයෙන් නම් කර නොතීසි නිකුත් කර තිබූ නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ දෙවන ඉංජිනේරුවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ ඔවුන් නිරෝධායනය ක්‍රියාවලිය සඳහා රෝහල්ගතවී සිටින බවය.

අනතුරුව පැමිණිල්ල ලබන 15 වනදා යළි කැඳවීමට අධිකරණය නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *