උසේන් බෝල්ට්ගේ ලෝක වාර්තාවත් අභිබවා චීන මානවරූපී රොබෝවක් මීටර් 100 තත්පර 9.39කින් දුවයි

බීජිංහි පැවැත්වෙන World Humanoid Robot Games තරගාවලියේ මීටර් 100 මූලික වටයේදී චීනයේ නිෂ්පාදිත මානවරූපී රොබෝවක් තත්පර 9.39කින් තරගය අවසන් කරමින්, ජැමෙයිකානු සුපිරි ධාවන ශූර උසේන් බෝල්ට් සතු මීටර් 100 ලෝක වාර්තාව අභිබවා තිබේ.

බීජිං හියුමනොයිඩ් රොබෝ නවෝත්පාදන මධ්‍යස්ථානය විසින් නිපදවා ඇති Tiangong Ultra රොබෝව සෙනසුරාදා පැවති මූලික තරගයෙන් ජයගත් බව සංවිධායකයෝ සඳහන් කළහ.

තරගයේ ආරම්භයේදී පසුබෑමකට ලක්ව සිටි Tiangong Ultra අවසන් අදියරේදී Honor සමාගමේ Lightning රොබෝව පසුකරමින් ජයගත්තේය. Lightning තත්පර 9.47කින් තරගය නිම කළ අතර, එයද බෝල්ට් 2009 වසරේ බර්ලින් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී පිහිටුවූ තත්පර 9.58ක ලෝක වාර්තාවට වඩා වේගවත් කාලයකි.

කෙසේ වෙතත්, රොබෝවන්ගේ ධාවනය බෝල්ට්ගේ මෙන් සුමට නොවීය. තරගය අවසන් කිරීමෙන් පසු දෙදෙනාම වේගය පාලනය කරගැනීමට නොහැකිව ධාවන පථයේ අවසානයේ සවි කර තිබූ ඝන මැට් වෙත ගැටී ඇති අතර, Tiangong Ultra පසෙකට වැටී තිබේ. එහිදී ආරක්ෂිත ස්ථානවල සිටි පුද්ගලයන්ටද ඉවත්වීමට සිදුවිය. Lightning ද ධාවනය අවසන් කර බිම ඇද වැටීමෙන් පසු ස්ට්‍රෙචරයකින් ඉවත් කර තිබේ.

මෙම ප්‍රතිඵලය පසුගිය වසරේ පැවති පළමු තරගාවලියට සාපේක්ෂව දැවැන්ත දියුණුවකි. එහිදී Tiangong Ultra මීටර් 100 ඉසව්ව ජයගෙන තිබුණේ තත්පර 21.50කින් පමණි. එම රොබෝව පසුගිය වසරේ බීජිංහි පැවති ලොව පළමු මානවරූපී රොබෝ අර්ධ මැරතන් තරගයද ජයගෙන තිබුණි.

මේ අතර, චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ Lightning රොබෝව මීටර් 100 පරීක්ෂණ ධාවනයකදී තත්පර 9.32ක කාලයක් වාර්තා කර ඇති බවයි. එහිදී උපරිම වේගය තත්පරයට මීටර් 14.5ක් ලෙස සටහන් වී තිබේ.

Lightning මෙවර මානවරූපී රොබෝ අර්ධ මැරතන් තරගයද මිනිත්තු 50යි තත්පර 26කින් ජයගෙන ඇති අතර, එම වේගය මිනිස් ලෝක වාර්තාගත පිරිමි අර්ධ මැරතන් වේගයටද වඩා ඉහළ මට්ටමක පවතී.

අර්ධ මැරතන් තරගයේදී Lightning රොබෝව සෙන්ටිමීටර් 169ක් උසින් සහ සෙන්ටිමීටර් 95ක පාද දිගකින් යුක්ත විය. පසුව තරගාවලිය සඳහා එහි පාද සෙන්ටිමීටර් 10කින් දිගු කර මීටර් 1.05ක් දක්වා වැඩි කර ඇති බව චීන CCTV මාධ්‍ය වාර්තා කළේය.

මෙවර රොබෝ ක්‍රීඩා උළෙලේ ඉසව් 51ක් පැවැත්වෙන අතර, මීටර් 100 ධාවනයට අමතරව පාපන්දු, නර්තන සහ කාර්මික කාර්යයන්ට අදාළ තරගද ඇතුළත් වේ.

මානවරූපී රොබෝ තාක්ෂණය චීනයේ උපායමාර්ගික කර්මාන්තයක්

චීනය මානවරූපී රොබෝ තාක්ෂණය උපායමාර්ගිකව වැදගත් නැගී එන කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් සිටී. කෘත්‍රිම බුද්ධිය සහ දෘඩාංග තාක්ෂණයේ දියුණුව හේතුවෙන් නිෂ්පාදන, ලොජිස්ටික්ස් සහ පාරිභෝගික සේවා වැනි ක්ෂේත්‍රවල මානවරූපී රොබෝවන් භාවිතය වේගයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සමාගම් සහ ආයෝජකයෝ අපේක්ෂා කරති.

මෙවර තරගාවලියට රටවල් 16කින් සහ මහාද්වීප 6කින් කණ්ඩායම් 666ක් නියෝජනය කරමින් රොබෝවන් 2,056ක් එක්ව සිටින අතර, පළමු තරගාවලියේදී සහභාගී වූයේ කණ්ඩායම් 280ක් පමණි.

බීජිංහි National Speed Skating Oval ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලිය බදාදා දක්වා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *