බෞද්ධ භික්ෂූන් ඇතුළු ආගමික පූජකවරුන්ගේ සිරගතව සිටියදී අඳින ඇඳුම් පිළිබඳ රෙගුලාසි සමාලෝචනයට සජිත්ගෙන් ඉල්ලීමක්

සිරගතව සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ අනෙකුත් ආගම්වල පූජකවරුන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් පවතින බන්ධනාගාර රෙගුලාසි සමාලෝචනය කිරීම සඳහා පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව කඩිනමින් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා තිබේ.

ඔක්තෝබර් 10 වැනිදා දිනැතිව පාර්ලිමේන්තු කථානායකවරයා මාර්ගයෙන් අදාළ කාරක සභාවේ සභාපතිවරයා වෙත යොමු කළ ලිපියකින් ප්‍රේමදාස මහතා මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත. එහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ස්ථාවර නියෝග අංක 550 ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද ඔහු අවධානය යොමු කර තිබේ.

මහා සංඝරත්නයේ භික්ෂූන් වහන්සේලා සහ වෙනත් ආගම්වල පූජකවරුන් සිරදඬුවම් විඳින අවස්ථාවලදී මෙන්ම බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී අඳින ඇඳුම් සම්බන්ධයෙන් බරපතළ මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත.

මෙම ගැටලුව විසඳීම සඳහා රජය කඩිනමින් සහ සාධනීය ලෙස මැදිහත් නොවීම හේතුවෙන් මහජනතාව අතර සැලකිය යුතු නොසන්සුන්තාවක් ඇති වී තිබෙන බව ද ඔහු සඳහන් කර තිබේ.

පවතින රෙගුලාසි සමාලෝචනය කර, මතුව ඇති ගැටලු විසඳීම සඳහා අවශ්‍ය සංශෝධන නිර්දේශ කිරීම ව්‍යවස්ථාදායකයේ වගකීමක් බව ප්‍රේමදාස මහතා අවධාරණය කර ඇත.

ඒ අනුව, මෙම කරුණ සලකා බැලීම සඳහා පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රමාදයකින් තොරව කැඳවන ලෙස ඔහු ඉල්ලා තිබේ.

කාරක සභාවේ පළමු රැස්වීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් ආයතනවල නියෝජිතයන් කැඳවන ලෙස ද ඔහු යෝජනා කර ඇත.

තවද, මෙම ගැටලුවේ ජාතික වැදගත්කම සහ සංවේදී ස්වභාවය සැලකිල්ලට ගනිමින්, කාරක සභාවේ සාමාජිකයකු නොවුවද එහි සාකච්ඡාවලට සහභාගි වීමට අවසර ලබා දෙන ලෙස ප්‍රේමදාස මහතා ඉල්ලා තිබේ.

මෙම මතභේදයට විසඳුම් සෙවීමේ අරමුණින් යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සාකච්ඡාවලට සක්‍රීයව දායක වීමට තමන් අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *