අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය රජයෙන් විශාල මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.
ඉරිදා (11) ඉබ්බාගමුවේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවල කොටසක් ලෙස මෙම මූල්‍ය ආධාරය ලබාදෙන බවයි.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ආධාරයක් ලබාදුන් බව සිහිපත් කළ ජනාධිපතිවරයා, තාවකාලික පාලම් විශාල සංඛ්‍යාවක් මෙන්ම අමතර පාලම් ඉදිකිරීම සඳහා ණය ආධාර ද ඉන්දියාවෙන් ලැබුණු බව පැවසීය.
එමෙන්ම, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් සාකච්ඡා පැවැත්වූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ අතර, ජපානය සහ චීනය ඇතුළු අනෙකුත් රටවල් සමඟ ද ශ්‍රී ලංකාව සහයෝගයෙන් කටයුතු කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, විශේෂයෙන්ම මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්රයේ සංවර්ධනය පිළිබඳව අදහස් දැක්වීය.
ශ්‍රී ලංකාවේ නව පොදු ප්‍රවාහන ව්‍යාපෘතියක් සඳහා බස් රථ ලබාදීමට ජපානය එකඟ වී ඇති බවත්, එම බස් රථ මේ වන විටත් මෙරටට ලැබී ඇති බවත් ඔහු පැවසීය.
එමෙන්ම, ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව විදුලි බස් රථ 100ක් ලබාදීමට චීන රජය එකඟතාව පළ කර ඇති බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.
රජයේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් ජනාධිපති දිසානායක මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ සමබර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන බවයි.
ජාත්‍යන්තර ගැටුම් පවතින අවස්ථාවලදී ශ්‍රී ලංකාව කිසිදු නිශ්චිත බල කඳවුරකට එක් නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ස්වාධීන හා සමබර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට රජය කැපවී සිටින බව ද යළිත් අවධාරණය කළේය.


