ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය පිළිබඳ සහතිකය කථානායකවරයා අනුමත කරයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ වැඩි ඡන්දයෙන් සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ සහතිකය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (31) අනුමත කළේය.

කථානායකවරයාගේ අනුමැතියෙන් පසු 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස අද සිට බලාත්මක වන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ප්‍රකාශ කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවන සංශෝධන පනත් කෙටුම්පත 2022 අගෝස්තු 10 වැනි දින අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේදී සංශෝධන සිදු කර අනුමැතිය ලබාගෙන ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවැනි සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ඔක්තෝබර් 20 සහ 21 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

දෙවන වර කියවීම අවසානයේ මන්ත්‍රීවරුන් 179 දෙනෙකු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂව ඡන්ද 1ක් හිමි විය.

ඉන් අනතුරුව පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 174ක් ලැබුණු අතර විපක්ෂව එක් ඡන්දයක් ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *