අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 2027 අයවැය ඇස්තමේන්තු සඳහා මහජන මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) 2027 වසර සඳහා වන අයවැය ඇස්තමේන්තු සමාලෝචනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ මහජන මුදල් පිළිබඳ කාරක සභාව විසින් ඒ සඳහා අනුමැතිය ලබාදී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් මෑතකදී පැවති කාරක සභා රැස්වීමකදී මෙම සමාලෝචනය සිදුකර ඇත. CIABOC අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා මෙන්ම මුදල් අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද එම අවස්ථාවට සහභාගී වී තිබේ.

කොමිෂන් සභාවේ මූල්‍ය හා මෙහෙයුම් ස්වාධීනත්වය, අරමුදල් සැපයීමේ ක්‍රමවේදය සහ පරිපාලන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

එමෙන්ම, CIABOC හි 2027 අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමේදී සිදුවූ ප්‍රමාදය පිළිබඳවද අවධානය යොමු කර ඇති අතර, ඉදිරියේදී එවැනි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ලබන වසරේ සිට සෑම වසරකම මැයි 30 වැනිදාට පෙර අයවැය ඇස්තමේන්තු කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට එකඟ වී තිබේ.

කොමිෂන් සභාවේ මෙහෙයුම් කටයුතුවලට බලපාන සීමාවන් සම්බන්ධයෙන්ද කාරක සභාව සාකච්ඡා කර තිබේ.

ඒ යටතේ වාහන මිලදී ගැනීම සහ ලීසිං පහසුකම් ලබාගැනීම, ප්‍රාදේශීය කාර්යාල සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම සහ නිල රාජකාරි සඳහා විදේශ සංචාරවල යෙදීම සම්බන්ධ සීමාවන් පිළිබඳව අවධානය යොමු කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ලබාදී ඇති ප්‍රතිඥා සහ රටේ දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව සිය මෙහෙයුම් පුළුල් කරමින් සිටින බව CIABOC සඳහන් කර තිබේ.

ඒ අනුව, 2026 දෙසැම්බර් 31 වැනිදා වන විට කාර්ය මණ්ඩල සාමාජිකයන් 971 දෙනෙකු බඳවා ගැනීමටත්, ප්‍රාදේශීය කාර්යාල 23ක් ස්ථාපිත කිරීමටත් කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

නව දූෂණ විරෝධී පනත යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමට නියමිත පුද්ගලයන් අතරින් 34,000කට ආසන්න පිරිසක් ප්‍රමාද ගාස්තු අයකර ගැනීම සඳහා හඳුනාගෙන ඇති බව CIABOC අධ්‍යක්ෂ ජනරාල්වරයා කාරක සභාවට දැනුම් දී ඇත.

එම ක්‍රියාවලිය හරහා අයකර ගන්නා දඩ මුදල් CIABOC අරමුදලට බැර කිරීමට නියමිත බවද ඔහු සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *